how-politicians-are-enjoying-the-benefits-of-housing-in-the-wiyatpura-housing-project-is-revealed-houses-for-mahinda-and-namal

වියත්පුර නිවාස ව්‍යාපෘතියට අයත් නිවාස හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් රැසක් විසින් බෙදාගෙන ඇති ආකාරයත්, ඉන් ඇතැම් නිවාස එම දේශපාලනඥයින්ගේ හිතවතුන් හෝ වෙනත් පාර්ශවයන් විසින් පරිහරණය කරමින් සිටින ආකාරයත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (15) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම පිහිටි නිල නිවස භාර දීමෙන් අනතුරුව තංගල්ල කාල්ටන් නිවසට ගිය බව ප්‍රකාශ වුවද, ඔහු නමින්ද වියත්පුර ව්‍යාපෘතියේ නිවසක් වෙන්ව පවතින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් දේශපාලනඥයින් රැසක් සතුව මෙම නිවාස පවතින බවත්, කනගාටුවට කරුණ නම් මෙම නිවාස කුලියට ගත් බොහෝ පිරිසක් අදාළ කුලී මුදල් ගෙවීම පැහැර හැර තිබීමත්, ජල හා විදුලි බිල්පත් පවා නිසි ලෙස ගෙවා නොතිබීමත් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




පසුගිය පාලන සමය තුළ ජනාධිපති කොමිෂන් සභා 14ක් පමණ පත් කර තිබුණද ඉන් සක්‍රීයව ක්‍රියාත්මක වී ඇත්තේ 2022 වසරේ අරගලය හේතුවෙන් නිවාස හානි වූ මැති ඇමතිවරුන්ට පහසුකම් සැලසීම සඳහා පත්කළ කොමිෂන් සභාව පමණක් බවත් අමාත්‍යවරයා චෝදනා කළේය. මෙම කොමිෂන් සභා වාර්තාවලට අනුව වියත්පුර ව්‍යාපෘතියේ නිවාස 101ක් දේශපාලන හිතවතුන් අතර බෙදාගෙන ඇති අතර, ඇතැම් නිවාසවල යතුරු පවා නැවත භාර දී නොමැති බව හෙළි වී තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය විසින් පත් කරන ලද නිවාස භාරකරුගේ ප්‍රකාශවලට අනුව, මන්ත්‍රීවරුන්ට වෙන් කරන ලද නිවාසවල ඔවුන් නොව වෙනත් බාහිර පුද්ගලයින් පදිංචිව සිටින බවද තහවුරු වී ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ ලේඛන ඉදිරිපත් කරමින් කියා සිටියේය.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව, වියත්පුර B2/09/05 අංකය දරන නිවස මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබුණද එහි පදිංචිව සිටින්නේ බොරලැස්ගමුව හිටපු නගරාධිපති අනුර ප්‍රියසාද් මහතා බවත්, B1/07/11 අංක දරන නිවස නාමල් රාජපක්ෂ මහතාට අයත් වුවද එහි රේණුකා පෙරේරා නමැත්තිය පදිංචිව සිටින බවත් අනාවරණය විය. මීට අමතරව චන්දිම වීරක්කොඩි මහතාට ලබා දී ඇති B1/09/12 නිවසේ වෙනත් අයෙකුත්, සීතා අරඹෙපොළ මහත්මියගේ B1/8 නිවසේ ඇයගේ ලේකම්වරයාත්, බන්දුල ගුණවර්ධන මහතාගේ B1/6/7 නිවසේ ලේකම් කැලුම් නමැත්තාත් පදිංචිව සිටින බව සඳහන් විය.

තවද රවීන්ද්‍ර කුමාර් මහතාට අයත් නිවසේ ඔහුගේ ලේකම්වරයාත්, නිමල් ලන්සා මහතාට අයත් B2/01 නිවසේ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත්, සහන් ජගත් කුමාර මහතාට අයත් B2/08/05 නිවසේ මහින්ද කහඳගම මහතාත්, ගාමිණී ලොකුගේ මහතාට අයත් B1/4/11 නිවසේ කැස්බෑව හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාත් පදිංචිව සිටින බව අමාත්‍යවරයා සවිස්තරාත්මකව හෙළිදරව් කළේය.

gossiplanka image 1



gossiplanka image 3