රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සිය ක්‍රීඩක සංචිතයේ පුළුල් වෙනස්කම් සිදු කරමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. මෙම විදෙස් ක්‍රීඩකයන්ට අමතරව ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෆසල්හක් ෆාරුකී ද කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර,
දේශීය ක්‍රීඩකයන් අතරින් ආකාශ් මද්වාල්, අශෝක් ෂර්මා, කුනාල් රතෝර් සහ කුමාර් කාර්තිකේය ද නිදහස් ලැයිස්තුවට ඇතුළත් කර ඇත. මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන කරුණක් වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ අයි.පී.එල් අත්දැකීම් බහුලව ලබා සිටි ආකාශ් මද්වාල් ද රාජස්ථාන් කණ්ඩායමෙන් ඉවත් කිරීමයි.වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා එක්වූයේ ජෙඩාහිදී පැවති 2025 අයි.පී.එල් මහා ක්‍රීඩක වෙන්දේසියේදීය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් නියෝජනය කරමින් විස්සයි-20 පිටියේ ඉහළ පළපුරුද්දක් සහිත හසරංගව රාජස්ථාන් පිල විසින් ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකට මිලදී ගනු ලැබුවේ ඔහුගේ පා දඟ පන්දු යැවීමේ හැකියාව සහ පසුපෙළ පිතිකරුවෙකු ලෙස ඇති දක්ෂතා සැලකිල්ලට ගනිමිනි. එසේම තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සිට පැමිණි අතර එහිදී ඔහු තරග 27කට ක්‍රීඩා කරමින් කඩුලු 25ක් දවාගෙන සිය පන්දු යැවීමේ විවිධත්වය මැනවින් ප්‍රදර්ශනය කර තිබුණි.
පසුගිය 2025 තරගවාරයේදී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් මෙම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දෙදෙනාම ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ. ඔවුන් දෙදෙනාම එම වසරේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සම වැඩිම කඩුලු ලාභීන් ලෙස තරගාවලිය නිම කිරීම විශේෂත්වයක් විය. එසේ තිබියදීත් මොවුන් දෙදෙනාම නිදහස් කිරීමට ගත් තීරණය තුළින් පැහැදිලි වන්නේ 2026 අයි.පී.එල් තරගාවලිය ඉලක්ක කරගනිමින් රාජස්ථාන් පාලනාධිකාරිය සිය දඟ පන්දු බලඇණිය සම්පූර්ණයෙන්ම නව උපායමාර්ගික සැලැස්මකට අනුව ප්‍රතිසංවිධානය කිරීමට සූදානම් වන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval