hired-assassin-arrested-after-taking-orders-from-army-chooty-to-kill-8-members-of-a-weligama-hotel-family

 වැලිගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක හිමිකරුවකු, ඔහුගේ බිරිඳ, දරුවන් සහ සහෝදරයන් ඇතුළු පවුලේ පුද්ගලයන් අට දෙනෙකු එකවර ඝාතනය කිරීමේ සැලසුමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වැලිගම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මහා පරිමාණ ඝාතනය සිදු කිරීම වෙනුවෙන් සැකකරුට රුපියල් ලක්ෂ පහමාරක මුදලක් ලබා දීමට දකුණේ පාතාල නායකයකු ලෙස සැලකෙන ‘ආමි චූටි’ නමැත්තා පොරොන්දු වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.



අත්අඩංගුවට ගත් සැකකරු ධීවර කර්මාන්තයේ නිරත වන්නෙකු වන අතර, මැදපෙරදිග රටක ගෘහ සේවයේ යෙදී සිටින තම බිරිඳ එහි දුක් විඳින බැවින් ඇයව නැවත ලංකාවට ගෙන්වා ගැනීමට මෙම මුදල අවශ්‍ය වී තිබූ බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.


මුදල් සොයා ගැනීමට වෙනත් මාර්ගයක් නොතිබූ හෙයින්, මිතුරෙකුගේ මාර්ගයෙන් ඩුබායි හි සැඟවී සිටින ආමි චූටි නමැත්තා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මෙම අපරාධයට දායක වීමට ඔහු එකඟ වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය.

වැලිගම පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඉබ්බාවල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2400ක් ද ළඟ තබාගෙන සිටියදීය. අනතුරුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත මිදිගම, කපුවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී විදේශීය නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ හයක්, ටී-56 වර්ගයේ මැගසින් එකක්, උණ්ඩ දාහතරක් සහ විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.

මීට පෙර බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තංගල්ල ප්‍රදේශයේ නිවසක් වටලා ටී-56 ගිනි අවියක් සමඟ හිටපු යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, එම නිවසේ සිට පලා ගිය පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු මොහු බවට ද තොරතුරු තහවුරු වී ඇත.


හෝටල් හිමිකරු ඇතුළු පවුලේ අට දෙනා ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණේ වෙඩි තබා සහ බෝම්බ ගසා බවත්, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සැකකරු දින හතක් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.