heshan-who-married-two-people-sentenced-to-6-months-in-prison-and-fined-100000-rupees

 නීත්‍යානුකූලව විවාහ වී සිටියදී එම විවාහය අවලංගු නොකර තවත් කාන්තාවක් සමග විවාහ වී බහු විවාහයක් සිදුකළ පුද්ගලයෙකුට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් මාස හයක සිරදඬුවමක් නියම කර තිබේ.



අදාළ සිරදඬුවමට අමතරව පළමු විවාහයේ බිරිඳට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට තවත් මාස හයක සිරදඬුවමක් ක්‍රියාත්මක වන බවට ද නියෝගයෙහි සඳහන් කර ඇත.




මෙලෙස දඬුවම් නියම වූයේ බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේ පදිංචි හේෂාන් මදුසංක නැමැත්තෙකුට වන අතර, මොහු ඉංගිරිය ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වී වසර හතරක පමණ කාලයක් ඇය සමග ජීවත්ව ඇති බවත්, එම විවාහයෙන් ඔහුට වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු සිටින බවත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

පළමු විවාහය නීත්‍යානුකූලව පවතින අතරතුර මොහු වෙනත් කාන්තාවක් හා විවාහ වී ඇය සමග ද ජීවත් වී ඇති අතර, මීට පෙර බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහාධිකරණය මගින් ලබාදුන් මාස හයක අත්හිටවූ සිරදඬුවමක් ද මොහුට තිබූ බව නඩු විභාගයේදී හෙළි විය.

පළමු විවාහයේ බිරිඳ විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සාධනී දිසානායක මහත්මියත්, විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඉසාරා රුද්‍රිගු මහත්මියත් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.