පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයෙන් ඉවත් කර ඇති බවට හෝ ඔහු ඝාතනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම බන්ධනාගාර පරිපාලනය විසින් තහවුරු කර තිබේ. බන්ධනාගාර නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ
පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘවරයා මේ වන විට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔහුට අවශ්‍ය සියලුම වෛද්‍ය පහසුකම් බන්ධනාගාරය තුළදී නිසි පරිදි ලැබෙන බවත්ය.මේ අතර පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ සිරගතව සිටින ඉම්රාන් ඛාන්ට තරු පන්තියේ හෝටලයකටත් වඩා ඉහළ මට්ටමේ පහසුකම් සහ ආහාර පාන ලැබෙන බවයි. හිටපු අග්‍රාමාත්‍යවරයාට ලැබෙන ආහාර මෙනුව දෙස බැලූ විට එවැනි ආහාර තරු පහේ හෝටලයකින්වත් සොයා ගැනීමට නොහැකි බවත්, ඔහු බන්ධනාගාරය තුළ ඉතා සැපපහසු ජීවිතයක් ගත කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
තමන් කැමති ඕනෑම රූපවාහිනී නාලිකාවක් නැරඹීමේ නිදහස මෙන්ම ශරීර සුවතා අභ්‍යාස කිරීමට අවශ්‍ය ව්‍යායාම උපකරණ ද ඉම්රාන් ඛාන් සතුව ඇති බව ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ. මීට අමතරව ඔහුට සැපපහසු ද්විත්ව ඇඳක් සහ 'වෙල්වට්' මෙට්ටයක් ලබා දී ඇති බවත්, බන්ධනාගාර අධිකාරීවරයාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ඔහුට මෙම වරප්‍රසාද හිමිව ඇති බවත් අමාත්‍යවරයා චෝදනා ස්වරූපයෙන් පවසා ඇත.
තමන් සිරගතව සිටි කාලය සහ ඉම්රාන් ඛාන්ගේ වත්මන් තත්ත්වය සංසන්දනය කළ කවාජා අසීෆ්, එදා තමන්ට සීතල සිමෙන්ති පොළොවේ නිදා ගැනීමටත් සාමාන්‍ය බන්ධනාගාර ආහාර අනුභව කිරීමටත් සිදුවූ බව මතක් කර දී තිබේ. ජනවාරි මාසයේ අධික සීතල මැද උණු වතුර නොමැතිව පොරෝනා දෙකකින් පමණක් යැපෙමින් තමන් ඉතා දුෂ්කර කාලයක් ගත කළ ද, වත්මන් සිරකරු ඉම්රාන් ඛාන් ඊට හාත්පසින්ම වෙනස් සුඛෝපභෝගී වරප්‍රසාද භුක්ති විඳින බව ඔහු පෙන්වා දී ඇත.
දූෂණ චෝදනා සහ වෙනත් නඩු කටයුතු කිහිපයක් හේතුවෙන් ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින අතර 2022 අප්‍රේල් මාසයේදී විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවකින් ඔහු අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval