අද සයින්දුමරුදු ප්‍රදේශයේ මෝටර් රථයක් ඇළකට පෙරළී ජීවිත තුනක් අහිමිවීයාමේ ඛේදවාචකයට සමාන සිදුවීමක් ඊයේ හලාවතදී සිදුව ඇති අතර සිද්ධිය අවස්ථාවේ එක් අයෙකු දැක බේරාගන්නට දැරූ ප්‍රයත්නය ව්‍යවර්ථවී ඇත.
හලාවත කොස්වත්ත පොලිස් බලප්‍රදේශයට අයත් නාරවිල, බාඳුරාව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රත්මල් ඔයට පෙරළී යාමෙන් සිදුවූ ඛේදජනක අනතුරකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (26) දින පෙරවරු 8.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව හලාවත කොස්වත්ත පොලිසිය තහවුරු කරයි.
මෙම හදිසි අනතුරින් මියගොස් ඇත්තේ දුන්කන්නාව, මානිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු සහ දුන්කන්නාව, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි කාන්තාවකි. මියගිය කාන්තාව දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇයගේ ස්වාමිපුරුෂයා විදේශ රැකියාවක නිරතව සිටින බවත්, මියගිය පිරිමි පුද්ගලයා ඇය සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
බාඳුරාව ප්‍රධාන මාර්ගයේ සිට රත්මල් ඔය පාලම අසලින් ඇති අතුරු මාර්ගයක් ඔස්සේ ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථය, මාර්ගය අයිනේ තිබූ වළකට වැටී එකවරම අසල වූ රත්මල් ඔයට උඩුකුරුව පෙරළී ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයට සුළු වර්ෂාපතනයක් පැවති බැවින් මාර්ගය මඩ සහිතව ලිස්සන සුළු ස්වභාවයකින් යුක්තව තිබී ඇති අතර,
ඒ හේතුවෙන් මෝටර් රථය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් වළට වැටී අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
රථය ඔයට පෙරළී යාමෙන් විනාඩි පහළොවකට පමණ පසු ඒ බව දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඔයට පැන මෝටර් රථයේ සිරවී සිටි දෙදෙනා ගොඩට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙකු වන සුදිල බාලසූරිය මහතා ප්‍රකාශ කළේ තමන් ඇතුළු පිරිස එම ස්ථානයට යන විට මෝටර් රථය එක් රෝදයක් පමණක් පෙනෙන සේ උඩුකුරුව ජලයේ ගිලී තිබූ බවයි. තමන් සහ තවත් මිතුරෙකු ඔයට බැස දැඩි අසීරුතාවයක් මැද දෙදෙනා ගොඩට ගත්තද ඒ වන විටත් ඔවුන් මියගොස් සිටි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මියගිය පුද්ගලයින්ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මාරවිල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත. කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval