මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ, පෝරඹ, පාළුවත්ත පාරේ පදිංචිව සිටි 55 හැවිරිදි වරුසවිතාන මිරන්ත නමැති දෙදරු පියෙකි. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, ඔහුගේ පපුව ප්‍රදේශයට වෙඩි උණ්ඩ තුනක් වැදී තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. සිද්ධිය වන අවස්ථාවේ ඔහු අසල බැංකුවක සිට අම්බලන්ගොඩ ධීවර වරාය බලා යමින් සිටි බවට තොරතුරු වාර්තා වේ.
ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා දෙකක හිමිකරුවෙකි. ඊට අමතරව, ඔහු අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසත්, අම්බලංගොඩ සමූපකාර මහා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් කටයුතු කර තිබේ. දේශපාලනික වශයෙන්ද ක්‍රියාකාරී වූ මොහු, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ අම්බලන්ගොඩ නගර සභාව සඳහා ඉදිරිපත් කළ අතිරේක නාම යෝජනා ලැයිස්තුවටද ඇතුළත්ව සිටි අයෙකි.
මියගිය පුද්ගලයා, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සොබනාහන්දි ජයලත් හෙවත් 'කරන්දෙණිය සුද්දා' නැමැත්තාගේ මස්සිනා (වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා) බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන තිබේ. වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් ගමන් කළ මෝටර් රථය, පසුව කරන්දෙණිය, එගොඩවිල මංසන්ධියේ අතහැර දමා ගොස් තිබියදී අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval