foreign-employment-officer-who-defrauded-people-of-1-million-rupees-by-promising-them-jobs-in-korea-remanded

 හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හා එක්ව දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචා කළ බව කියන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොරියානු රැකියා අංශයේ සේවය කළ නිලධාරිනියක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.



අදාළ සැකකාර නිලධාරිනිය 2024 වර්ෂයේ මාර්තු මාසයේදී ඉහත කී සම්බන්ධීකරණ ලේකම්වරයා සමග එක්ව ගාල්ල ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු කොරියානු රැකියා සඳහා යොමු කරන බව පවසා ඔවුන් සමඟ ගිවිසුම්ගතව එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දහය බැගින් මුදල් ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


කෙසේ වෙතත්, පොරොන්දු වූ පරිදි අදාළ රැකියා අවස්ථාවන් ලබා නොදීම හේතුවෙන් එම මූල්‍ය වංචාවට හසුවූ පිරිස විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත කරන ලද පැමිණිලිවලට අනුව විශේෂ විමර්ශන අංශය විසින් මෙම පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

අත්අඩංගුවට පත් වූ මෙම නිලධාරිනිය ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරියක් මෙන්ම හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව සහාය ලබාදුන් අයෙකු බවත්, එම දේශපාලන හිතවත්කම් මත ඇයට කාර්යාංශයේ රැකියාව හිමිව ඇති බවත් තොරතුරු හෙළි වී ඇති අතර රැකියාව ලැබීමෙන් අනතුරුව ඇය මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට කරුණු තහවුරු වී තිබේ. මෙම වංචාවට හසුවූ තවත් පිරිස් සිටිය හැකි බවට විමර්ශන අංශ සැක පළ කරන බැවින්, එවැනි වංචාවලට ලක්වූවන් සිටී නම් වහාම කාර්යාංශය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් ද සිදු කරයි.




සැකකාර නිලධාරිනිය අද (27) දින ගාල්ල උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව අවධාරණය කරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා, ඊශ්‍රායලය, ජපානය හෝ දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා සඳහා බාහිර පාර්ශවවලට කිසිදු මැදිහත් වීමක් කළ නොහැකි බවත්, එසේ රැකියා ලබා දිය හැකි බව පවසා මුදල් ඉල්ලා සිටින ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසත් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.