police-seek-public-assistance-in-finding-two-men-who-abandoned-their-friend-after-a-party

 ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් කීරකොටුව, සේදවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු අද්භූත ලෙස අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා අවශ්‍යව සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි.



අදාළ පුද්ගලයා ඉකුත් 2025 වර්ෂයේ ඔක්තෝබර් මස 11 වන දින සිට අතුරුදන්ව සිටින බවට ඔහුගේ මව විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයා 2025.10.11 වන දින තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ එක්ව සාදයක් පවත්වා ඇති බවත්, එම සාදයෙන් අනතුරුව ඔහු මෙලෙස අතුරුදන්ව ඇති බවත් ය.

එම සාදයට සහභාගී වූ අනෙක් පුද්ගලයින් දෙදෙනා ද එදින සිට ඔවුන්ගේ පදිංචි ප්‍රදේශවල නොමැති බවත්, ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.




අතුරුදන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීම සඳහා අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍යව ඇති මෙම සැකකරුවන් දෙදෙනා රත්නවීර පටබැඳිගේ ප්‍රියන්ත කුමාර සහ අංක 63/ඒ, දකුණු මිරිසන් කොටුව, ලුණුවිල ලිපිනයෙහි පදිංචි වර්ණකුලසූරිය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු ලෙස හඳුනාගෙන ඇත.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නා අයෙක් වෙතොත් 071-8591575 දුරකථන අංකය ඔස්සේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත හෝ 011-2421414 යන අංකය ඔස්සේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.




gossiplanka image 2


gossiplanka image 3