අත්තනගලු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට මහා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 04 දරණ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය 2025 නොවැම්බර් මස 28 වන දින අලුයම 3.00 ට නිකුත් කර ඇති අතර, එය එළඹෙන නොවැම්බර් 30 වන දින අලුයම 3.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමේදී ඉදිරි පැය 48 ක කාලය තුළ මෙම ගංවතුර තත්ත්වය නිර්මාණය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මෙම මහා ගංවතුර අවදානම බලපානු ඇත.
මෙම හදිසි තත්ත්වය හේතුවෙන් අදාළ පහත්බිම් ප්‍රදේශ හරහා ගමන් ගන්නා මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. එමෙන්ම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ආපදා කළමනාකරණ අංශ වෙත දැනුම් දී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval