වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් 2025 නොවැම්බර් 28 වන දින අලුයම 3:30 ට නිකුත් කරන ලද දත්ත වාර්තාවන්ට අනුව, දිවයිනේ ප්‍රධාන ගංගා ද්‍රෝණි රැසක දැඩි වර්ෂාපතනයක් සමඟ ගංවතුර තත්ත්වයන් වර්ධනය වෙමින් පවතී.
කැලණි ගඟේ ඉහළ ද්‍රෝණිවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශයෙන් මිලිමීටර් 227.0 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර එය මේ වන විට මහා ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී තිබේ. ඊට අමතරව කැලණි ගඟේ අතු ගංගාවන් වන සීතාවක ගඟ දැරණියගල ප්‍රදේශයෙන් සහ ගුරුගොඩ ඔය හොලොම්බුව ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටම් සටහන් කරමින් තවදුරටත් ජල මට්ටම් ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය වී ඇත. කැලණි ගඟේ පහළ ප්‍රදේශ වන නාගලගම් වීදිය සහ හංවැල්ල ප්‍රදේශ මේ වන විට අනතුරු ඇඟවීමේ මට්ටමේ (Alert Level) පවතින අතර ග්ලෙන්කෝස් හි ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබේ.මහවැලි ගඟ ආශ්‍රිතව ද සුවිශේෂී වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර පේරාදෙණිය ජල මාපකයේ මිලිමීටර් 234.5 ක වර්ෂාපතනයක් සහ නාවලපිටිය ප්‍රදේශයේ මිලිමීටර් 208.3 ක වර්ෂාපතනයක් සටහන් වී ඇත. මෙම අධික වර්ෂාව හේතුවෙන් පේරාදෙණිය සහ නාවලපිටිය යන ස්ථානවල ජල මට්ටම මහා ගංවතුර සීමාව ඉක්මවා ගොස් ඇති අතර එම ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතී. මැණික් ගඟේ කතරගම ප්‍රදේශය ආශ්‍රිතව ද ජල මට්ටම මහා ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී ඇති අතර එය තවදුරටත් ඉහළ යන ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. මල්වතු ඔය ද්‍රෝණියට ලැබුණු මිලිමීටර් 264.2 ක ඉතා ඉහළ වර්ෂාපතනය හේතුවෙන් තන්තිරිමලේ ප්‍රදේශයේ ජල මට්ටම මහා ගංවතුර මට්ටමක් දක්වා ළඟා වී ඇති අතර ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතී.
දැදුරු ඔය සහ මා ඔය ආශ්‍රිතව ද ගංවතුර අවදානම ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. දැදුරු ඔයේ මොරගස්වැව ජල මාපකය මහා ගංවතුර මට්ටමක් පෙන්නුම් කරන අතර මා ඔයේ ගිරිඋල්ල ප්‍රදේශය ද මහා ගංවතුර මට්ටමක පවතී.
මා ඔයේ බඩල්ගම ප්‍රදේශය සහ අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශය මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා කරන අතර එම ස්ථානවල ද ජල මට්ටම් ඉහළ යමින් පවතී. යාන් ඔයේ හොරොව්පොතාන ප්‍රදේශයෙන් මිලිමීටර් 223.3 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර එය සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. මා ඔය ද්‍රෝණියේ මුකුණු ඔය යාකවැව ප්‍රදේශයෙන් ද සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වේ.
කළු ගඟේ කුඩා ගඟ ආශ්‍රිතව මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම අනතුරු ඇඟවීමේ මට්ටම දක්වා ඉහළ ගොස් ඇති නමුත් කළු ගඟේ සෙසු ප්‍රදේශ සාමාන්‍ය මට්ටමක පවතී. නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්‍රදේශය සුළු ගංවතුර මට්ටමක පවතින අතර පානදුගම ප්‍රදේශයේ ජල මට්ටම අනතුරු ඇඟවීමේ මට්ටමේ පැවතිය ද එය පහළ යමින් පවතී. වලවේ ගඟේ මොරකැටිය ප්‍රදේශය අනතුරු ඇඟවීමේ මට්ටමේ පවතින අතර ජල මට්ටම ඉහළ යමින් පවතී. කිරිඳි ඔයේ තණමල්විල ප්‍රදේශය සුළු ගංවතුර මට්ටමක පැවතිය ද එය මේ වන විට පහළ බසින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval