ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිදුවීමට ප්‍රධාන වශයෙන් මැදිහත් වූ දුලාර ගුණතිලක නමැත්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉහළ පෙළේ ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ ඉඩකඩක් පවතී.
ජාතීන් අතර අසමගිය නිර්මාණය කිරීමට කටයුතු කිරීම මෙන්ම, අදාළ සිදුවීම අතරතුර විහාරස්ථානය වෙත පැමිණි රජයේ මැති ඇමතිවරුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කිරීමට ජනතාව උසිගැන්වීම යන චෝදනා මොහුට එල්ල වී ඇත. කඩවත වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දුලාර ගුණතිලක පසුගිය කාලයේ 'සිංහල නෙට්' නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති අතර, හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේම පෞද්ගලික ලේකම්වරයෙකු ලෙසත්, යහපාලන ආණ්ඩු සමයේ අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසත් කටයුතු කර ඇති අයෙකි.මෙම සමස්ත සිදුවීමට මූලික වී ඇත්තේ ත්‍රිකුණාමලය කොටුව පාරේ සුන්දර වෙරළ තීරයට මායිම්ව පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට අයත් යැයි කියන ඉඩමක පවතින ගැටලුවකි. විහාරාධිපති හිමියන් සහ දායක සභාව පවසන පරිදි 2014 වසරේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පූජා භූමි ඔප්පුවක් මගින් මෙම ඉඩම විහාරස්ථානයට ලබා දී තිබේ.
කෙසේ වෙතත්, මේ වන විට එම භූමියේ 2023 වසරේ ආරම්භ කරන ලද 'ඩජ්බේ කොෆියෝ' (Dutch Bay Coffee) නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමලය ආසන සංවිධායකවරිය වන දීපානි ලියනගේ මහත්මියගේ ඥාතියෙකු වන එල්. ටී. පෙරේරා නමැත්තා විසින් දායක සභාවේ අනුමැතිය ඇතිව මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන අතර, එහි ආදායමෙන් කොටසක් විහාරස්ථානයේ විදුලි බිල්පත් ගෙවීම ඇතුළු නඩත්තු කටයුතු සඳහා යොදවන බව සඳහන් වේ.
මෙම අර්බුදය උත්සන්න වූයේ පසුගිය නොවැම්බර් 4 වනදා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාළ අවන්හල අනවසර ඉදිකිරීමක් බව දන්වා එය ඉවත් කරගැනීමට ව්‍යාපාර හිමිකරුට දැනුම් දීමත් සමගය. විහාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඉදිකිරීම් ඉවත් කිරීමට දින 7ක සහන කාලයක් ලබා දී තිබියදී, එම කාලය අවසන් වීමට ආසන්නව තිබියදී අවන්හලට මීටර් 50ක් පමණ දුරින් දහම් පාසල් ගොඩනැගිල්ලක් යැයි කියමින් තාවකාලික ඉදිකිරීමක් ආරම්භ කර ඇත. අනතුරුව ත්‍රිකුණාමලයෙන් බැහැර ප්‍රදේශවලින් පැමිණි බලංගොඩ කස්සප හිමියන් සහ දුලාර ගුණතිලක ඇතුළු පිරිසක් මැදිහත් වී එම නව ඉදිකිරීම තුළ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට කටයුතු කර තිබේ.
එය දහම් පාසල් ගොඩනැගිල්ලක් යැයි ප්‍රකාශ කර බුදු පිළිම වහන්සේ නමක්ද එහි වැඩම කරන්නට ත්‍රිකුණාමලයට පිටතින් පැමිණි බලංගොඩ කස්සප භික්ෂුව සහ කඩවත, වෑබඩ ප්‍රදේශයේ සිට පැමිණි දුලාර ගුණතිලක ගත් උත්සාහය මෙම ප්‍රශ්නයට ජාතිවාදී මුහුනුවරක් ගෙනදුන් අතර බුදුපිළිම වහන්සේ වැඩම කරන ලද්දේ දුලාරයි.
පසුගිය 16 වනදා රාත්‍රියේ පොලීසිය එම පිළිමය ඉවත් කිරීමට උත්සාහ කළ බව පවසමින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ නමුත්, තත්ත්වය පාලනය කිරීමෙන් පසු 17 වනදා දහවල් වන විට නැවතත් පිළිම වහන්සේ එම ස්ථානයේම තැන්පත් කර තිබිණි.
මේ අතරතුර, විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා විහාරාධිපති ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2025 ජූලි සහ ජූනි මාසවල යොමු කළ ලිපි මගින් විහාරස්ථානයේ ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට දැනුම් දී ඇති බවත්, ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ අභියාචනය විධිමත් විමසීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබේ. අදාළ ඉඩම සංවර්ධනය කිරීමට ත්‍රිකුණාමලය නගර සභාවේ විරෝධයක් නොමැති බවත්, වෙරළ සංරක්ෂණ රෙගුලාසි උල්ලංඝනය නොවන බවත් පවසන විහාරාධිපති හිමියන්, මෙම කඩා ඉවත් කිරීමේ තීරණය නීතියට පටහැනි සහ ද්වේෂ සහගත ක්‍රියාවක් බවට චෝදනා කරයි.
මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මිමන මහතා මැදිහත් වී ත්‍රිකුණාමලය දිස්‍ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලා සහ රාජ්‍ය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී එළඹුණු එකඟතාවය අනුව මතභේදයට තුඩු දුන් බුදු පිළිම වහන්සේ විහාරස්ථානයට අයත් භූමියේ තැන්පත් කිරීමටත්, විහාරස්ථානය සතු පැරණි ගොඩනැගිලි පිහිටි භූමිය නිවැරදිව හඳුනාගෙන ඊට අදාළ මායිම් සලකුණු කිරීමටත් පියවර ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval