අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ ආගමික සිද්ධස්ථානයක සේවය කරන කෝටිපති ප්‍රධාන කපුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මෙම මස 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය ඊයේ (18) නියෝග කළාය. අනුරාධපුර විහාරපාලුගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි බී. ජයවර්ධන නමැත්තෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වනජීවී දෙපාර්තමේන්තුවට ලද රහසිගත තොරතුරක් මත අනුරාධපුර විහාරපාලුගම පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ගෝන, කබැල්ලා, මීමින්නා සහ ඉබ්බන්ගේ මස් තොගයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ. ඊට අමතරව ඉබි බිත්තර 14 ක්, පණ පිටින් සිටි ගල් ඉබ්බන් හය දෙනෙකු සහ ඇත් දළවලින් සකසන ලද බවට සැක කෙරෙන වළල්ලක් ද එම නිවසේ ඉතා රහසිගතව සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් වන සතුන්ගේ මස් සාම්පල සහ පලඳනාව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා ඕනෑම ඇප කොන්දේසියක් මත තම සේවාදායකයා මුදා හරින ලෙස ඉල්ලා සිටියද, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඊළඟ නඩු වාරයේදී ලබා දෙන ලෙස වනජීවී නිලධාරීන්ට දන්වා සිටියාය.
සැකකාර කපුවා දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇත්ද යන්න සහ සතුන් දඩයම් කළේ ඔහු විසින්මද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව පැමිණිල්ල මෙහෙයවූ පිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ. වැටලීම සිදු කරන අවස්ථාවේදී විවිධ පුද්ගලයින් දුරකථන මාර්ගයෙන් නිලධාරීන්ට අමතා සැකකරු සහ නඩු භාණ්ඩ මුදා හරින ලෙස බලපෑම් කර ඇති බවත්,
එම බලපෑම් නොතකා නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් වාර්තා වේ.
වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතාගේ උපදෙස් පරිදි අඩවි සහකාර චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් රිටිගල අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ, පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ට්‍රෙවිස් පෙරේරා, නලීන් ජයසූරිය, එස්.ආර්.එම්. අධිකාරි, එස්.ඒ. වික්‍රමරත්න, විජේසිංහ, වනජීවි නියාමක සම් සෙනෙවිරත්ත සහ රියැදුරු තුෂාර බණ්ඩාර යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval