eheliyagoda-drug-traffickers-property-confiscated

 නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයා ගන්නා ලදැයි සැක කෙරෙන රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් දේපළ තොගයක් තහනම් කිරීමට පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ජාවාරම්කාරියකට අයත් මෙම දේපළ අත්හිටුවීම සිදු කර ඇත්තේ ඇය දීර්ඝ කාලයක් තිස්සේ මෙම නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වෙමින් වත්කම් රැස් කර ඇති බවට ලද තොරතුරු මත සිදු කළ විමර්ශනයකින් අනතුරුවය.






එලෙස තහනමට ලක් වූ දේපළ අතර සැකකාරියගේ නමින් ලියාපදිංචිව ඇති පර්චස් 5 බැගින් වූ ඉඩම් කොටස් දෙකක් සහ රුපියල් කෝටි තුනක පමණ දළ වටිනාකමක් සහිත නිවසක් පිහිටි පර්චස් 4ක ඉඩමක් ද වේ. ඊට අමතරව රත්නපුර - ඇහැලියගොඩ ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි පර්චස් 6ක ඉඩම් කොටසක් තුළ අලුතින් ඉදි කර ඇති කඩ කාමරයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ද මෙම දේපළ ලැයිස්තුවට ඇතුළත් වන අතර එහි වටිනාකම ද රුපියල් කෝටි 3ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

අදාළ කාන්තාව ඇහැලියගොඩ පිහිටි ඇගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු 2011 අංක 40 පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට යටත්ව දින හතක කාලයක් සඳහා මෙම දේපළ අත්හිටුවීමේ නියෝගය නිකුත් කර ඇත. අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකාරිය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ 3 වන අංශය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.