නෙල්ලිඅඩිය ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ස්ථාපිත කර ඇති උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකදී ජීව විද්‍යා විෂයයට පෙනී සිටි සිසුන්ගේ පළමු කොටසේ පිළිතුරු පත්‍ර, ඇගයීම් කටයුතු සඳහා යොමු නොකර නිලධාරීන් අතින් මගහැරී යාමේ බරපතල සිදුවීමක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා විභාග ඉතිහාසය තුළ සිදු වූ බරපතලම නොසැලකිල්ලක් හෝ අත්වැරැද්දක් ලෙස මෙය සැලකෙන අතර, මේ හේතුවෙන් ඊට අදාළ සිසුන්ගේ අධ්‍යාපන අනාගතයට දැඩි අගතියක් සිදුව ඇත.දැනට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සමගාමීව නෙල්ලිඅඩිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් විභාග මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන අතර, එහි පසුගියදා ජීව විද්‍යා විෂයයේ පළමු කොටස වන බහුවරණ ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පවත්වා තිබේ. එම මධ්‍යස්ථානයේදී සිසුන් 21 දෙනෙකු විභාගයට පෙනී සිට පිළිතුරු සපයා නියමිත පරිදි තම පිළිතුරු පත්‍ර භාර දී ඇති බව වාර්තා වේ.
සාමාන්‍ය විභාග නීති රීති අනුව එම පිළිතුරු පත්‍ර එදිනම දැඩි ආරක්ෂාව යටතේ ඇගයීම් මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතුව තිබුණද, විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කළ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම මත ඒවා යැවීම පැහැර හැර ඇත. දින තුනකට පසුව සිදුකළ සොයා බැලීමකදී, එම වටිනා පිළිතුරු පත්‍ර කාර්යාලීය ලිපිද්‍රව්‍ය සහ කඩදාසි සමඟ ගැටගසා තිබියදී හමුවී ඇති නමුත්, මේ වන විට එම පත්‍ර ඇගයීම් කටයුතු සඳහා නිල වශයෙන් භාර දීමට නොහැකි නීතිමය තත්ත්වයක් උද්ගතව තිබේ.
මේ හේතුවෙන් අදාළ සිසුන් 21 දෙනාටම විශාල ලකුණු ප්‍රමාණයක් අහිමි වීමේ අනිවාර්ය අවදානමක් මතුව ඇති අතර, අතිශය තරඟකාරී විභාගයක් වන උසස් පෙළ විභාගයේදී, විශේෂයෙන් ජීව විද්‍යාව වැනි විෂයයක එක ලකුණක් හෝ දෙකක් සිසුවෙකුගේ අනාගතය තීරණය කිරීමට ප්‍රබල සාධකයක් වේ. මෙවැනි පසුබිමක් තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා යොමු නොවීම සිසුන්ගේ වසර ගණනාවක අධ්‍යාපන කැපවීම අර්ථශුන්‍ය බවට පත් කරමින් ඔවුන්ව දැඩි මානසික පීඩනයකට ලක් කර ඇත.
මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවධානය යොමු වීමෙන් පසුව, අදාළ විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කළ කාර්ය මණ්ඩලය එම රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව දෙපාර්තමේන්තු මට්ටමින් විනය පරීක්ෂණ ද මේ වන විට ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval