
2026 අයවැයෙන් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැර ඇති බවට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අරඹන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව අද (19) දිනයේත් ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි. මෙම වර්ජනය හේතුවෙන් ඊයේ දිනය පුරා දිවයිනේ බොහෝ රෝහල්වල රෝගීහු සහ රෝගී සත්කාර සේවා සඳහා පැමිණි පිරිස් දැඩි අපහසුතාවට ලක්වූහ.
වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කළුතර නාගොඩ මහ රෝහල ඇතුළු දිවයින පුරා රෝහල්වල සේවාවන්ට බලපෑම් එල්ල විය. රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනික කටයුතු සඳහා පැමිණි රෝගීහු මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්වූහ. 2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පෙරේදා (17) උදෑසන 8ට ආරම්භ කරනු ලැබීය.
සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ද වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවා තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමුකළ බවත්, එම යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා කිරීමටත්, සාධනීය විසඳුම් ලබාදීමේ හැකියාව පිළිබඳව අවධානය යොමුකරන බවටත් ජනාධිපතිවරයා සිය සංගමය වෙත දැනුම් දුන් බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
තම ගැටලු සම්බන්ධයෙන් විධිමත් විසඳුමක් කඩිනමින් නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බව ද වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා අනතුරු ඇඟවීය. මෙම ක්‍රියාමාර්ගයට සමගාමීව රෝහල් තුළ නොමැති ඖෂධ හා උපකරණ රෝගීන්ට බාහිරින් ලබාගැනීම සඳහා තුණ්ඩු නිකුත් නොකිරීම, රෝහල් තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකර ගැනීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ බව ඔහු සඳහන් කළේය. තවද, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කඳවුරු හා සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගී නොවීම, ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු හා ඒකකවලට වෛද්‍යවරුන් අනියුක්ත කිරීම අත්හිටුවීම ඇතුළු ක්‍රියාමාර්ගවලටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval