තංගල්ල උණාකූරුව වැව අසලදී ඊයේ (18 වැනිදා) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් මියගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය වාර්තා කරයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උණාකූරුවේ පදිංචිව සිටි 68 හැවිරිදි ජේ.එච්. විජත් සහ 58 හැවිරිදි පී.එච්. පුෂ්පා නමැති යුවළ බවට හඳුනාගෙන තිබේ.
මියගිය යුවළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ ඥාතීන් බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම දෙදෙනා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන උණාකූරුවේ ශාන්ත නමැති අයගේ මවගේ මල්ලී (මාමා) සහ ඔහුගේ බිරිද බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
උණාකූරුව වැවට ආසන්නව පිහිටි වෙළෙඳසලක සිටි මෙම දෙදෙනා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුවී ඇති අතර, වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ යුවළ එම ස්ථානයේදීම මියගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි තබා පලායන අතරතුර සැකකරුවන් පැමිණි යතුරුපැදිය මාර්ගයේ දමා ගොස් තිබියදී තංගල්ල පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිගමගේ මහතාගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.

