discussions-underway-to-bring-back-six-sri-lankan-fishermen-caught-in-maldives-with-300-kilos-of-drugs

 මාලදිවයින් වෙරළාරක්ෂක අංශ විසින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුන්සියයකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනා සහ අදාළ යාත්‍රාව මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ මැදිහත්වීමෙන්, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම සාකච්ඡා මෙහෙයවනු ලබන බව ආරංචි මාර්ග සඳහන් කරයි.






සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය. දැනට ඩුබායි හි සැඟව සිටින බව පැවසෙන "දෙහි බාලේ මල්ලී" නම් පාතාල කල්ලි නායකයා මෙම මත්ද්‍රව්‍ය තොගය පකිස්තානයෙන් මිලදී ගෙන මෙරටට එවීමට උත්සාහ කර ඇති බවට තොරතුරු ලැබී ඇත. මීට අමතරව, විදේශගතව සිටින "පරෙවි සුදා" ඇතුළු තවත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු ද මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, මත්ද්‍රව්‍ය තොගය දකුණු මුහුදු තීරයෙන් ගොඩබිමට ගෙන ඒමට සැලසුම් කර තිබූ බව හෙළිවී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.