6 pm update
තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී අද (10) දහවල් සිදු වූ බස් රථ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු බවයි.
මියගිය සිසුවා හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබේ. 411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. මියගිය සිසුවාගේ දේහය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
3 pm update
අනුරාධපුර, තලාව ජයගඟ හන්දිය ප්‍රදේශයේදී අද (10) දහවල් සිදුවූ බිහිසුණු බස් රථ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය තහවුරු කරයි.
තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරට ලක්වූ බස් රථය තුළ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ද සිට ඇති අතර,
අනතුර සිදුවූ විගස තුවාලකරුවන් තලාව සහ තඹුත්තේගම යන රෝහල් වෙත කඩිනමින් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. බස් රථය තුළ මගීන් 40කට අධික සංඛ්‍යාවක් ගමන් කර ඇති බැවින් තුවාල ලැබූවන් තවදුරටත් රෝහල් වෙත රැගෙන එමින් පවතින බව වාර්තා වේ.
තුවාලකරුවන් මේ වනවිට අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇති අතර, බස් රථය ගමන් කර ඇති ඉතා පටු මාර්ගයේ දී යතුරුපැදියකට ඉඩ ලබාදීමට යෑමෙන් මෙලෙස බසය පෙරළී ගොස් ඇතැයි සිදුවීම ඇසින් දුටුවන් පැවසීය.
කලාප කාර්යාලය මඟින් සංවිධානය කළ සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ගිය සිසුන් සහ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් තුවාල ලැබූ පිරිස සිටී.
අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval