disaster-disrupts-highways-and-expressways-around-colombo

 දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම මේ වන විට කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකටම දැඩිව එල්ල වී ඇති අතර, අධික වර්ෂාව හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීම් සහ ගස් කඩාවැටීම් වාර්තා වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම බාධාවන් හේතුවෙන් වාහන ගමනාගමනයට අවහිරතා එල්ල වී ඇති බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම ප්‍රේමසිරි කේමදාස මාවතේ ලයනල් රඟහල ආසන්නයේත්, ජාතික රෝහලේ 4 වන දොරටුව ආසන්නයේ පිහිටි කැප්පෙටිපොළ මාවතේත් ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මීට අමතරව ඇල්විටිගල මාවතේ රැජින පාර හන්දිය සහ කොටහේන ආමර් බාබර් හන්දියේ පන්සල අසලත් මාර්ග අවහිරතා පවතින බැවින් එම මාර්ග භාවිතයේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දී සිටී.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයට ද වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති අතර,

කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන හැසිරවීමට බලපෑම් එල්ල වී තිබේ. විශේෂයෙන් කඩවත දෙසින් පැමිණෙන රථවාහන මෙම තත්ත්වයට මුහුණ පා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී සිටී.

තවද, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ කහතුඩුව අතර කොටසේ බද්දේගොඩ ප්‍රදේශයට අයත් කිලෝමීටර් 12.5 කණුව ආසන්නයේ පැති බැම්මක ඉරිතැලීමක් නිරීක්ෂණය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. කොළඹ දෙසට ධාවනය වන මංතීරුව පසෙකින් පිහිටි බැම්ම මෙලෙස ඉරිතලා ඇති බැවින් නායයෑමේ අවදානමක් මතුව ඇති අතර, මීටර් 300ක පමණ දුරක් වම් මංතීරුව තාවකාලිකව වසා දමා ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. අයහපත් කාලගුණය හමුවේ තවදුරටත් හානි සිදුවීම වැළැක්වීම සඳහා අදාළ කොටස ඉටිකොළ යොදා ආවරණය කිරීමට පියවර ගෙන ඇති අතර, ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් විසින් මෙම ප්‍රදේශය මෙන්ම අධිවේගී මාර්ගයේ අනෙකුත් පැති බැමි සම්බන්ධයෙන් ද දැඩි විපරමකින් පසුවන බව වාර්තා වේ.

gossiplanka image 1
gossiplanka image 2



gossiplanka image 3
gossiplanka image 4



gossiplanka image 6