වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් ගුණසේකර මහතා අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවතින ආපදා තත්වය ගැන විශේෂ අනතුරු ඇඟවීමක් කළේය.ඔහු දැක්වූ අදහස් පහත පරිදිය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ගත් විට, මේ වන විට මහා පරිමාණ ජලාශ 50 කට වැඩි ප්‍රමාණයක් වාන් දමනවා. මධ්‍ය පරිමාණ වැව් ද 50 කට ආසන්න ප්‍රමාණයක් වාන් දමනවා.
මහා පරිමාණ වැව් අතුරින් වඩාත්ම ගැටලුකාරී තත්ත්වයකට පත් වුණේ දැදුරු ඔය ජලාශයයි. නමුත් මේ වන විට දැදුරු ඔය ජලාශය පාලනයට නතු වී තිබෙන අතර එහි කිසිදු අවදානමක් නැහැ. එසේ වුවත් මේ වන විටත් තත්පරයට ඝන අඩි ලක්ෂයක පමණ ජල ප්‍රමාණයක් වාන් දමනවා. ඒ හේතුව නිසා පාදෙණිය - අනුරාධපුර මාර්ගය සම්පූර්ණයෙන්ම යට වී තිබෙන බැවින්, ඒ ප්‍රදේශයට කවුරුත් යාම සුදුසු නැහැ.
ඊට පස්සේ අනුරාධපුරේ ඇති වැව් ගත් විට, නාච්චදූව වැව සහ අනෙක් වැව් වාන් දමනවා. ඒ නිසා අනුරාධපුර නගරය ආශ්‍රිත ප්‍රදේශ යට වී තිබෙනවා.
පුත්තලම දෙස බැලුවොත්, පුත්තලමේ ඇති ඉඟිණිමිටිය සහ තබ්බෝව කියන වැව් දෙකම වාන් දමනවා. ඒ හේතුවෙන් පුත්තලම - අනුරාධපුර මාර්ගය යට වී තිබෙනවා. සහ පුත්තලමේ ඇතැම් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර, ළඟා විය නොහැකි ප්‍රදේශ ද හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව දැදුරු ඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් ඊට පහළින් ඇති වැව් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් බොහෝ දුරට හලාවත නගරය ජලයෙන් යට වීමට වැඩි ඉඩක් පවතිනවා.
අනුරාධපුරයේ අනෙක් පස, යාන් ඔය ගංගාව ගත් විට යාන් ඔය ජලාශය වාන් දමනවා. මම මේ 'වාන් දමනවා' යැයි සඳහන් කළේ මදක් වැඩි ප්‍රමාණයකින් ජලය පිටවන අවස්ථාවන් ගැනයි. එතකොට යාන් ඔය ජලාශය වාන් දැමීමත්, පදවිය ජලාශය වාන් දැමීමත් යන කරුණු දෙකම සිදු වෙනවා. ඒ හේතුවෙන් හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, පදවි ශ්‍රීපුර යන ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා.
ඊට අමතරව සේනානායක සමුද්‍රය ගත් විට, අපි වාන් දොරටු විවෘත නොකර ජලය රඳවාගෙන සිටිනවා. මේ වන විට ස්වභාවිකව සුළු ප්‍රමාණයක් වාන් දමනවා. අපි හෙට පමණ වන විට වාන් දොරටු මදක් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට හේතුව ගල් ඔය ගඟ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී තිබීමයි. අපි වාන් දොරටු විවෘත කළහොත් තවත් කුඹුරු ප්‍රමාණයක් හානියට පත් විය හැකි නිසා, වර්ෂාව මදක් අඩු වන තුරු සිට හෙට පමණ වන විට සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට සිදු වෙනවා.
ඊට අමතරව කැලණි ගඟ ගත් විට, අවිස්සාවේල්ලේ ඇති ජල මාපකයේ දත්ත අනුව 2016 වසරට වඩා වැඩි ගංවතුර තත්ත්වයක් හෙට වන විට කොළඹට පැමිණීමට ඉඩ තිබෙනවා. එය බොහෝ දුරට වෙනස් නොවනු ඇති අතර, 2016 ගංවතුර මට්ටමට වඩා වැඩි වෙයි කියා අනුමාන කළ හැකියි. එනිසා කැලණි ගඟ අවට සහ කොළඹ පදිංචි ජනතාව අධ්‍යාපන සහතික, වාහන වැනි ඉවත් කරගත හැකි වටිනා දේවල් හෝ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කරගැනීම යෝග්‍යයි.
ඊට අමතරව ගිං ගඟේ ජල මට්ටම ද වැඩි විය හැකියි. නිල්වලා ගඟේ නම් එවැනි ගැටලුවක් නැහැ. මැණික් ගඟ ආශ්‍රිතව පවතින වෙහෙරගල සහ ලුණුගම්වෙහෙර ජලාශ ද වාන් දමනවා. ඒවා වාන් දැමුවද, එහි විශාල ගැටලුවක් නැහැ.
මින් පෙර දක්නට ලැබුණ විශාල සැඩ පහරක් සමග කැලණි ගංගාව අද (28) උදේ දර්ශනය විය.
වීඩියෝව මෙතැනින් click here

Comments
Post a Comment
Your comment will be visible after approval