
ලොව ප්‍රමුඛතම ගෝලීය බැංකු සමාගමක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක 'වෙල්ත්' (Wealth) සහ 'රීටේල්' (Retail) මූල්‍ය සේවා අංශ අත්පත් කර ගැනීම සඳහා DFCC බැංකුව ඊයේ (12) දිනයේදී නිල වශයෙන් ගිවිසුමකට එළඹ තිබේ.
මෙම නව ගිවිසුමට අනුව, මින් ඉදිරියට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් මෙරට පවත්වාගෙන ගිය ප්‍රමුඛ පෙළේ බැංකුකරණ සේවා, ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම්, පුද්ගලික ණය ලබා දීම්, තැන්පතු භාර ගැනීම් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ බැංකු සේවාවන් සියල්ල DFCC බැංකුව යටතේ ක්‍රියාත්මක වනු ඇත.
මෙම අත්පත් කර ගැනීමේ ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 3.7ක් බව සඳහන් කරමින් DFCC බැංකුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පසුගිය මාර්තු මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, තම සමූහයේ ගෝලීය මූලෝපායික තීරණයක් මත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක 'වෙල්ත්' සහ 'රීටේල්' අංශවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවත්, එම අංශයන් විකිණීම සඳහා සුදුසු පාර්ශ්වයක් සොයමින් සිටින බවත්ය.
එහිදී එම බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත වැඩිදුරටත් දැනුම් දී තිබුණේ මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා ආසන්න වශයෙන් මාස 15ත් 18ත් අතර කාලයක් ගත විය හැකි බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval