a-married-couple-from-podi-lassies-drug-ring-is-in-jail-with-drugs

 ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවන ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන 'පොඩි ලැසී' නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හා සෘජු සම්බන්ධතා ඇති බවට සැක කෙරෙන අඹුසැමි යුවළක් සහ තවත් කාන්තාවක් මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඊයේ (11) දින ක්‍රියාත්මක කළ විශේෂ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මීටියාගොඩ, වේරගොඩ, හරන්නා වල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් සහ හික්කඩුව සීනිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.




පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මීටියාගොඩ පාසල් මාවතේදී සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 530ක් සොයාගෙන තිබේ. ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 710ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. මෙම අඹුසැමි යුවළ පොඩි ලැසීගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ක්‍රියාකාරී කොටස්කරුවන් බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි. මේ අතර, හික්කඩුව සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකාර කාන්තාව සන්තකයේ ද හෙරොයින් ග්‍රෑම් 202යි මිලිග්‍රෑම් 98ක් තිබී සොයාගෙන ඇත.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නයනජිත් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සහභාගී වී තිබේ. අත්අඩංගුවට ගත් මෙම තිදෙනා හරහා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව සහ ඔවුන්ගේ සබඳතා පිළිබඳව මීටියාගොඩ පොලිසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.