
දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයන් තිදෙනෙකුට පහර දී, පසුව ඔවුන්ව ලොරි රථයකින් හඹා ගොස් යටකර දෙදෙනෙකු ඝාතනය කිරීමේ සහ එක් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකු වරදකරුවන් බවට අම්පාර මහාධිකරණය ඊයේ (10) තීන්දු කළේය. මහාධිකරණ විනිසුරු රුචිර ශ්‍රීනිත් මෙන්ඩිස් විජේසේකර මහතා විසින් එම විත්තිකරුවන් හයදෙනාට මරණීය දණ්ඩනය නියම කරන ලදී.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයි.බී. අජිත් ප්‍රසන්න, බී.ඒ. ප්‍රියන්ත කරුණාතිලක, ඒ.එම්. නාමල් සංජීව, ඩබ්ලිව්.එම්. දුමින්ද රුවන් කුමාර, ඒ.එම්. වසන්ත ගාමිණී අත්තනායක සහ කේ.එම්. ගිහාන් විදුරංග රාජරත්න යන අයටයි.
2015 වසරේ අප්‍රේල් 14 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කෙහෙල්උල්ල, කඩුපහර ගම්මානයේදී ජේ.පී. තරිදු ශාන්ත ජයසිංහ සහ ජේ.පී. සමන් කුමාර යන දෙදෙනා ඝාතනය කිරීම සහ ජේ.පී. ජයතිලක නැමැත්තාට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 140, 296 සහ 314 වගන්ති යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.
නඩු විභාගයේදී හෙළි වූ තොරතුරුවලට අනුව, 2015 අප්‍රේල් 14 වන දින විත්තිකරුවන් පිරිස ලොරි රථයකින් අදාළ ගම්මානයට පැමිණ බීමතින් කෑ ගසමින් සිට ඇත. එම අවස්ථාවේදී ගම්වාසීන් පිරිසක් මැදිහත් වී "බීලා කෑ ගසන්න එපා" යැයි පැවසීමත් සමඟ දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් හටගෙන තිබේ. එම ආරවුල අතරතුර විත්තිකරුවන් විසින් ගම්වාසීන් තිදෙනෙකුට පහර දී ඇත.
පහර කෑමට ලක්වූ අදාළ තිදෙනා එම ස්ථානයෙන් ආපසු යමින් සිටියදී, විත්තිකරුවන් ඔවුන් පැමිණි ලොරි රථයෙන්ම ඔවුන් පසුපස හඹා ගොස් දරුණු ලෙස යටකර ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය. එම සිදුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබිණි.
පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුවන් හයදෙනාම අදාළ චෝදනාවලට වරදකරුවන් බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, මිනී මැරීමේ චෝදනා දෙකට මරණීය දණ්ඩනය නියම කළේය. ඊට අමතරව, පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval