වසර හයක දීර්ඝ විරාමයකින් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11 වැනිදා) පාකිස්තාන ක්‍රීඩා බිමකදී තරග වැදීමට නියමිතය. 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ සිදුකරන පළමු තරග සංචාරය මෙය වන අතර, දෙරට අතර පැවැත්වෙන එක්දින තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගය රාවල්පිණ්ඩි හිදී අද පස්වරු 3 ට පැවැත්වේ.
තරගාවලියට පෙර පාකිස්තාන නායක ශහීන් අෆ්‍රිඩි සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ චරිත් අසලංක තරගාවලි කුසලානය සමඟින් ඡායාරූපවලට ද පෙනී සිටියහ.ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් වරට එක්දින පිටියේදී හමුවූයේ මීට වසර දෙකකට පෙර 2023 ඉන්දියාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී වන අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 345ක දැවැන්ත ඉලක්කය සාර්ථකව හඹා යමින් වාර්තාගත ජයක් ලැබීමට පාකිස්තානය සමත් විය. කෙසේ වෙතත්, එම වසරේම පැවති ආසියානු කුසලාන තරගයේදී ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
දෙරට අතර පැවති අවසන් එක්දින තරග පහ දෙස බැලීමේදී, පාකිස්තානය තරග තුනක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව ජය ලබා ඇත්තේ එක් තරගයක් පමණි.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති සිය අවසන් එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කරමිනි. පාකිස්තාන කණ්ඩායම ද සිය නව නායක ශහීන් අෆ්‍රිඩි යටතේ දකුණු අප්‍රිකාව 2-1ක් ලෙස පරාජය කරමින් මෙම තරගාවලියට එක්ව සිටියි.
රාවල්පිණ්ඩි පිටියේ පැවති පුහුණුවීම්වලින් අනතුරුව අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස්, මෙම සංචාරය සඳහා සලසා ඇති ආරක්ෂක විධිවිධාන සහ අනෙකුත් සංවිධාන කටයුතු ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් සූදානමකින් පසුවන බවත් සඳහන් කළේය. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිත අතර, තරගාවලියේ දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් අනිද්දා (13) සහ 15 වැනිදා යන දිනවලදී රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.