
ත්‍රිකුණාමලය සහ තඹලගමුව යා කෙරෙන පාලම්පොට්ටාර් ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකය අසලදී ධාවනය වෙමින් තිබූ බස් රථයකින් ඇද වැටීමෙන් එහි කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් අද (20) උදෑසන වාර්තා විය.
මහනුවර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ පිහිටි දේවාලයක පඬුරු පෙට්ටියට මුදල් දැමීම සඳහා බස් රථයෙන් බැස ඇති ඔහු, නැවත දිවවිත් බස් රථයට ගොඩවීමට උත්සාහ කිරීමේදී පා පය ලිස්සා බිම ඇද වැටී ඇති අතර එහිදී හිසට සිදුවූ බරපතල හානි හේතුවෙන් එම ස්ථානයේදීම මරණය සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, 5 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පවුලේ බර කරට ගත් පුද්ගලයෙකු වන ලලිත් කුමාර නැමැත්තෙකු බව පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු ත්‍රිකුණාමලය සිට කන්තලේ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක සේවය කළ අයෙකි.
සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තඹලගමුව පොලිසිය විසින් මේ වන විටත් ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval