ශ්‍රී ලංකාවේ තනිව සංචාරයේ නිරත වූ නවසීලන්ත ජාතික තරුණියක් තමන් මුහුණ දුන් අමිහිරි සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ඉහළ ප්‍රතිචාරයක් දැක්වූ පසු ඇය නැවතත් වීඩියෝ සටහනක් තබා වෙනස් අදහසක් ඉදිරිපත් කර ඇත.
ඇය තැබූ සටහනක් මේ වන විට ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් දැඩි කතාබහට ලක්ව තිබේ. නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි පදිංචි 24 හැවිරිදි මොලී නම් මෙම තරුණිය, ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටියදී පුද්ගලයෙකු විසින් සිදු කළ ලිංගික හිංසනයක් වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසුව මෙම සිදුවීම වාර්තා විය. ඇය ස්කූටරයකින් ගමන් කරමින් සිටියදී තවත් ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු ඇය ලුහුබැඳ අශෝභන යෝජනා සිදු කර ඇති අතර, ඇය එය ප්‍රතික්ෂේප කළ විට එම පුද්ගලයා ඇය ඉදිරිපිට අශෝභන ලෙස හැසිරී තිබිණි.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ ඉතා වේගයෙන් පැතිර ගිය අතර,
ඒ හා සමග තමන්ට ලැබුණු ඇතැම් ප්‍රතිචාර පිළිබඳව තමන් මවිතයට පත් වූ බව මොලී ප්‍රකාශ කර සිටියි. ඇය පෙන්වා දෙන පරිදි බොහෝ දෙනෙකු සිදුවීමට මුහුණ දුන් වින්දිතයා වන ඇයටම දොස් පැවරීමට (Victim-blaming) කටයුතු කර තිබේ. විශේෂයෙන් කාන්තාවක් ලෙස තනිව සංචාරය කිරීම වරදක් බවත්, ඇය සතුව "පැවැත්මේ කුසලතා" (Survival skills) නොමැති බවත් පවසමින් පිරිමින් මෙන්ම කාන්තාවන්ද ඇයව විවේචනය කර තිබීම කනගාටුවට කරුණක් බව ඇය සඳහන් කරයි. තමන්ගේ ආරක්ෂාව සඳහා පිරිමියෙකු සමඟ සංචාරය කළ යුතුව තිබූ බවට ඇතැම් කාන්තාවන් පවා උපදෙස් දී තිබීම ඇයගේ දැඩි අවධානයට ලක්ව ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැක්වූ කඩිනම් ප්‍රතිචාරය පිළිබඳව මෙම තරුණිය සිය බලවත් ප්‍රසාදය පළ කර සිටියි. ඇය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව වහාම විමර්ශන ආරම්භ කර ඇති අතර, දින හතරක් වැනි කෙටි කාලයක් තුළ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. පොලිසියේ මෙම කාර්යක්ෂම ක්‍රියාකලාපය අගය කරන ඇය, සැකකරුට එරෙහිව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, ඉදිරි කටයුතු පිළිබඳව පොලිසිය තමන්ව දැනුවත් කරමින් සිටින බවත් කෘතවේදීව සඳහන් කර ඇත.
එක් පුද්ගලයෙකුගේ පහත් හැසිරීමක් නිසා සමස්ත ශ්‍රී ලංකාවම හෝ එහි සංස්කෘතිය පිළිබඳව වැරදි ආකල්පයක් ඇති කර නොගන්නා ලෙස ඇය ලොව පුරා සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාව ඉතා සුන්දර සහ ආරක්ෂිත රටක් ලෙස තමන් අත්විඳි බවත්, ගැටලුව ඇත්තේ තනිව සංචාරය කරන කාන්තාවන් තුළ නොව නිසි ලෙස හැසිරීමට නොදන්නා පිරිමින් තුළ බවත් ඇය අවධාරණය කරයි. ලොව ඕනෑම තැනක කාන්තාවන්ට බියකින් තොරව තනිව සංචාරය කිරීමට අයිතියක් තිබිය යුතු බව පවසන ඇය, මෙවැනි සිදුවීම් ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන පොදු යථාර්ථයක් වුවද, ඒ ගැන කතා කිරීම වැදගත් බව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඇගේ කතාවේ වීඩියෝව සිංහල උපසිරසි සහිතව මෙතැනින් click here

Comments
Post a Comment
Your comment will be visible after approval