prasanna-cannot-eat-only-given-protein-every-4-hours-health-reasons-for-bail

අද කාලයේ හිටපු හා වත්මන් දේශපාලනඥයින් බොහොමයක් ඉතා සතුටින් කාබී විනෝදවෙමින් සිටියත් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවන් වලදී ඔවුන් හතරගාතේ වැටුණ රෝගීන් බවට පත්වේ. පිළිගත් වෛද්‍ය සහතික නීතීඥ තර්ක හමුවේ මොවුන්ට අධිකරණය (අ)සාධාරණ ඇප ලබාදීම් සිදුකළ අවස්ථා කිහිපයක්ම වාර්තා විය.



 දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (12) දින පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු අතර, ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවන ලදී.

හිටපු අමාත්‍යවරයාට මෙම චෝදනාව එල්ල වී ඇත්තේ, ඔහු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ධුරය දැරූ සමයේ සිදු වූ බව කියන සිදුවීමක් මුල් කරගෙනය. සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, හෝටල් කළමනාකරණ ආයතනය සහ සම්මුති කාර්යාංශය යන ආයතන හතරේ සේවකයන් සඳහා සෘජු වෛද්‍ය රක්ෂණයක් ලබා ගැනීමේදී, "මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්" නමැති තැරැව්කාර සමාගමක් නීත්‍යනුකූල නොවන අන්දමින් පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. මෙම පත්කිරීම හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් අදාළ සමාගමට රුපියල් ලක්ෂ 47කට අධික කොමිස් මුදලක් ගෙවා අයුතු වාසියක් සැලැස්වීම සහ රක්ෂණ සංස්ථාවට අයුතු පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා ගොනු කර ඇත.




අත්අඩංගුවට ගත් සැකකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, අල්ලස් කොමිසම වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි අබේසිංහ මහතා කරුණු ඉදිරිපත් කළේය. ඔහු අධිකරණයට දන්වා සිටියේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් සෘජු වෛද්‍ය රක්ෂණයක් ලබාගත හැකිව තිබියදී, මෙම තැරැව්කාර සමාගම මැදිහත් කරවීම නිසා රුපියල් 47 ලක්ෂ 50,828ක නොගෙවිය යුතු කොමිස් මුදලක් ගෙවා ඇති බවය. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තැරැව්කාර සමාගමක් දක්වා නොතිබුණ ද, සැකකාර අමාත්‍යවරයා සංචාරක අධිකාරියේ සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කර අදාළ සමාගම නම් කර කොමිස් මුදල ගෙවීමට සලස්වා ඇති බවත්, එම මුදල් වෙනත් ගිණුම් 05කට බැර වී ඇති බවත් විමර්ශනවලදී හෙළි වූ බව පොලිස් පරීක්ෂකවරයා කීවේය. අදාළ නිලධාරීන් අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබා දීමෙන් පසු සැකකරු ඔවුන්ට දුරකථනයෙන් අමතා බලපෑම් කර ඇති බැවින්, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම වැළැක්වීම සඳහා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින්, කොවිඩ් වසංගත සමයේ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට පෞද්ගලික අංශය ඉදිරිපත් නොවූ අවස්ථාවේ, ගුවන් යානා සඳහා යන වියදම දැරීමට සැකකාර අමාත්‍යවරයා සංචාරක අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන් බව කියා සිටියේය. කුවේට්හි සිටි ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් දිවයිනට රැගෙන ආවේ එම මුදල් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා තැරැව්කාර සමාගමට මුදා හැරීමෙන් බවත්, සැකකරු පෞද්ගලිකව සමාගමක් නම් නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. 21 වැනිදාට පෙර ප්‍රසන්න රණතුංග මහතා රිමාන්ඩ් කිරීමට උත්සාහයක් ඇති බවටද ඔහු චෝදනා කළේය.



මීට අමතරව, ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින්, ඔහු ශල්‍යකර්මයකට භාජනය වී සිටීම නිසා සාමාන්‍ය පරිදි ආහාර ගත නොහැකි බවත්, පැය හතරෙන් හතරට විශේෂ ප්‍රෝටීන් මිශ්‍ර කළ කුඩා ආහාර වේලක් ලබාගත යුතු අතර එසේ නොවුණහොත් ජීවිතය අවදානමකට ලක්විය හැකි බවත් පෙන්වා දුන්නේය. සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, මෙම අවස්ථාවේ සලකා බලන්නේ නඩුවේ කරුණු නොව ඇප අයැදුම පිළිබඳව බවත්, අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වන දූෂණය වරද මෙම අධිකරණයට ඇප ලබාදිය හැකි වරදක් බවත් ප්‍රකාශ කළේය. අල්ලස් කොමිසම සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බව වාචිකව කීව ද, ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවේ සඳහන් කර හෝ අදාළ සාක්ෂිකරුවන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන නොමැති බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා, 2022 වර්ෂයේ සිට මේ දක්වා විමර්ශන කාලය තුළ සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට කරුණු අනාවරණය වී නොමැති බවද සිය නියෝගය මගින් වැඩිදුරටත් සඳහන් කළේය.