මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින, යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින්, ඇයට එරෙහි අධිචෝදනා පත්‍රය පවත්වාගෙන යාම පදනම් විරහිත බව ඇය වෙනුවෙන්
පෙනී සිටි නීතිඥවරයා නොවැම්බර් 12 වන දා කොළඹ මහාධිකරණයට දැනුම් දෙන ලදී. 98 හැවිරිදි වියේ පසුවන ඇයගේ වත්මන් මානසික තත්ත්වය අනුව තමාට එරෙහි චෝදනාව හෝ අධිකරණ ක්‍රියාවලිය වටහා ගැනීමට හැකියාවක් නොමැති බවත්, ඇයගේ පෞද්ගලික කටයුතු පවා තනිවම කරගත නොහැකි තත්ත්වයක පසුවන බවත් එහිදී පෙන්වා දෙන ලදී.මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙම කරුණු දැක්වීම සිදු කළේය. සිය සේවාදායිකාවගේ දේපළ භාරකාරීත්වය සඳහා 2017 වසරේදීම ගංගොඩවිල දිසා අධිකරණය විසින් භාරකරුවෙකු පත් කර ඇති බවත්, එම නියෝගය අධිකරණ වෛද්‍ය වාර්තාවක් මත පදනම්ව ලබා දී ඇති බවත් නීතිඥවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, වසර අටකට පසුව මෙම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන්නේ මන්දැයි ප්‍රශ්න කළ මහාධිකරණ විනිසුරුවරයා, නඩුව මීට පෙර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙද්දී මෙම වැදගත් ලේඛනය ඉදිරිපත් නොකළේ මන්දැයි විමසා සිටියේය.
එවැනි ලේඛනයක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට තහවුරු කළේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, විත්තිකාරියගේ වයස සහ රෝගී තත්ත්වය පිළිගන්නා නමුත්, දිසා අධිකරණ නියෝගයක් මත මහාධිකරණය ක්‍රියා කිරීමට බැඳී නොමැති බවයි. විත්තිකාරිය සම්බන්ධයෙන් නව වෛද්‍ය වාර්තාවක් කැඳවීම අවශ්‍ය දැයි සලකා බැලීමට කාලය අවශ්‍ය බවද ඔහු දැන්වීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, ඩේසි ෆොරස්ට් මහත්මිය සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව නොවැම්බර් 26 වන දිනට කල් තැබීමට නියෝග කළේය.
මෙම නඩුවේ විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන දෙදෙනාම ඇප මත මුදා හැර සිටින අතර, ඔවුන් ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2016 වසරේදී යෝෂිත රාජපක්ෂගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 කට අධික මුදලක් සම්බන්ධයෙන් මෙම විමර්ශන ආරම්භ වූ අතර, එම මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණ පැහැදිලි කිරීමක් කිරීමට ඔහු අපොහොසත් වී තිබිණි. මෙම මුදල් ඩේසි ෆොරස්ට් මහත්මිය සමග පැවති හවුල් ගිණුමක ස්ථාවර තැන්පතු ලෙස යොදවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඇය මීට පෙර ගුරුවරියක, රෝහල් සේවිකාවක මෙන්ම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාවක ලෙස ද කටයුතු කර ඇති බව මීට පෙර අධිකරණයේදී කරුණු වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval