the-best-way-to-avoid-dementia-is-to-live-an-active-lifestyle

 මෑත කාලයේදී වයස්ගත දෙමව්පියන් කුඩා දරුවන් මෙන් හැසිරෙන්නට පටන් ගත් විට, ඇතැම් දූ දරුවන් විසින් ඔවුන්ව බලු කූඩුවල සිරකළ අවස්ථා වැනි කණගාටුදායක සිදුවීම් බහුලව වාර්තා විය. මෙම තත්ත්වය හමුවේ සමහරුන් එම දරුවන්ට 'නූතන අජාසත්ත පරපුර' ලෙස දෝෂාරෝපණය කළ අතර,

තවත් පිරිසක් වයස්ගත දෙමාපියන්ගේ මුරණ්ඩු ස්වභාවය විවේචනය කළහ. එහෙත්, මෙම ඛේදවාචකයන්ට සැබෑ හේතුව වී ඇත්තේ වයස්ගත වීමේදී ස්වභාවිකව ඇතිවිය හැකි රෝග ලක්ෂණ පිළිබඳව දෙපාර්ශ්වයම දැරූ නොදැනුවත්කමයි. බොහෝවිට මෙම දරුවන් අදාළ රෝගී තත්ත්වය පිළිබඳව අසා නොතිබීම හෝ එය අමතක කර දැමීම මෙවන් ගැටුම් උග්‍ර වීමට මග පාදා තිබේ.
'ඩිමෙන්ෂියාව' හා ආශ්‍රිත ඇතැම් රෝග ලක්ෂණ තරුණ වයසේ පවා ඇතිවේ.
මෑත කාලයේ ජනප්‍රිය Saiyaara (2025) හින්දි චිත්‍රපටයේ ප්‍රධාන නිළිය චිත්‍රපටයේදී ඩිමෙන්ෂියා වර්ගයක් වන අල්ෂෙයිමර් ලක්ෂණවලින් පෙලීම මත අමතකවීම් සිදුවන අයුරු පෙන්වයි.
මීට අමතරව Black (2005), Maine Gandhi , Ko Nahin Maara (2005), The Broken Table (2023) වැනි හින්දි චිත්‍රපටවලද ඩිමෙන්ෂියාව පාදක කරගත් කතා දැකගත හැකිය.



'ඩිමෙන්ෂියාව' යනු තනි රෝගයක් නොව, රෝග ලක්ෂණ ගණනාවක එකතුවකි. විවිධ හේතූන් නිසා මොළයේ සෛල විනාශයට පත්වීම මෙයට මුල් වේ. මොළයේ කිසියම් කොටසක සෛල මිය යාමේදී, එම කොටසින් පාලනය වූ ක්‍රියාකාරකම් නිසිලෙස සිදුකිරීමට නොහැකි වීමෙන් ඇතිවන අවුල් සහගත තත්ත්වයන් පොදුවේ ඩිමෙන්ෂියාව ලෙස හැඳින්වේ. මෙහිදී බහුලවම දක්නට ලැබෙන ලක්ෂණය අමතක වීම නිසා, මෙය 'අමතක වීමේ රෝගය' ලෙස ප්‍රචලිතය. ඩිමෙන්ෂියා තත්ත්වයන් අතරින් වඩාත් සුලභ සහ 80%ක් පමණ නියෝජනය කරන ප්‍රභේදය 'අල්ෂෙයිමර්' රෝගයයි. මෙහිදී ප්‍රධාන වශයෙන් කෙටිකාලීන මතකය ගිලිහී යාමත්, එදිනෙදා හුරුපුරුදු සුළු කාර්යයන් පවා තනිවම කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමත් සිදුවේ.

අල්ෂෙයිමර් තත්ත්වයට අමතරව ඩිමෙන්ෂියාව සඳහා බලපාන තවත් හේතු කිහිපයක් පවතී. 'වැස්කියුලර් ඩිමෙන්ෂියාව' හෙවත් 'මල්ටි-ඉන්ෆාක්ට් ඩිමෙන්ෂියාව' (රුධිර වාහිනී ඩිමෙන්ෂියාව) ඉන් ප්‍රධාන තැනක් ගනී. දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ අධි කොලෙස්ටරෝල් වැනි තත්ත්වයන් නිසා මොළයේ සියුම් රුධිර නාල අවහිර වීමෙන් කුඩා ප්‍රදේශ මිය යාමෙන් මෙය හටගනී. ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් 15%ක් පමණ මෙම වර්ගයට අයත් වේ. මීට අමතරව, මොළයේ බාහිකයේ 'ලෙවී දේහ' (Lewy Bodies) නම් ක්ෂුද්‍ර අපද්‍රව්‍ය තැන්පත් වීමෙන් හටගන්නා ඩිමෙන්ෂියාව, පාකින්සන් රෝගය නිසා ඇතිවන ඩිමෙන්ෂියාව සහ මොළයේ ඉදිරි කොටසේ සෛල හානිවීමෙන් (FTD) ඇතිවන ඩිමෙන්ෂියාවද සුලභය.




සාපේක්ෂව දුර්ලභ ගණයේ ඩිමෙන්ෂියා තත්ත්වයන්ද කිහිපයක් හඳුනාගෙන ඇත. ජානමය අර්බුදයක් නිසා හටගන්නා 'හන්ටින්ටන්ස් රෝගය' (Huntington's Chorea) මීට උදාහරණයකි. එහිදී අමතක වීමට අමතරව අත් පා සහ හිසෙහි පාලනය කළ නොහැකි ඇඹරෙන චලනයන් ද දක්නට ලැබේ. මොළයේ කුටීරවල අසාමාන්‍ය ලෙස තරල (වතුර) එකතු වීම නිසා 'නෝමල් ප්‍රෙෂර් හයිඩ්‍රොකෙෆලස්' (NPH) තත්ත්වයත්, ශරීරයේ තඹ තුලනය වෙනස් වීමෙන් අක්මාව හරහා මොළයට බලපාන 'විල්සන්ස් ඩිසීස්' තත්ත්වයත් ඩිමෙන්ෂියාවට හේතු විය හැක. තවද, බොක්සිං ක්‍රීඩකයන්ට හෝ බීමත්කම නිසා නිතර හිස වැදෙන අයට ඇතිවිය හැකි 'පන්ච්-ඩ්‍රන්ක් සින්ඩ්‍රෝම්', පැහැදිලි හේතුවක් නොමැති 'පික්ස් ඩිසීස්' සහ 'Prion' නම් ප්‍රෝටීනයක් මගින් මොළයේ ප්‍රෝටීන විනාශ කරන 'Crutzfeldt–Jakob' (CJD) රෝගයද ඩිමෙන්ෂියාව ඇති කරන දුර්ලභ තත්ත්වයන්ය. මෙම විවිධත්වය නිසා, තම සමීපතමයෙකුට ඩිමෙන්ෂියාව වැළඳී ඇත්ද, ඒ කුමන වර්ගයද, සහ ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද යන්න තීරණය කළ යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු පමණි.

ඩිමෙන්ෂියා රෝගියෙකු හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පවතී. නිතර ආශ්‍රය කරන පුද්ගලයන්ගේ නම් ගම් හෝ එදිනෙදා සිදුවීම් අමතක වීම මූලික ලක්ෂණයකි. එහෙත් මෙහිදී හානි සිදුවන්නේ කෙටිකාලීන මතකයට පමණක් වන අතර, දීර්ඝකාලීන මතකයන් බොහෝවිට සුරක්ෂිතව පවතී. තීරණ ගැනීමේ සහ බුද්ධිමය කුසලතාවල පිරිහීමක්ද දක්නට ලැබේ. තමන්ට කරුණු අමතක වන බව පිළිගැනීමට ඇති අකමැත්ත නිසා රෝගීන් බොහෝවිට දැඩි සැකයකින් පසුවන අතර, 'මගේ සල්ලි අරන්', 'රත්තරන් බඩු නැහැ' හෝ 'ඔප්පුව තිබූ තැන නැහැ' වැනි චෝදනා කරමින් පවුලේ සාමාජිකයන් සමඟ නිතර ගැටුම් ඇති කර ගනී.

මෙම රෝගීන්ගේ හැඟීම් පාලනය දුර්වල වන අතර, සුළු දෙයකට පවා අධික ලෙස කෝපයට පත්වේ. එම නිසා ඔවුන් හා කටයුතු කිරීමේදී ඉවසීමක් අවශ්‍ය වේ. නිතර එහා මෙහා ගමන් කිරීම, ගමනක් ගියහොත් නැවත නිවසට එන පාර අමතක වීම, සහ යම් යම් දේවල් විවිධ ස්ථානවල දමා අමතක වීමද සුලභය. තමන්ගේ අමතක වීම වසන් කිරීමට, යම් තොරතුරක් ඇසූ විට (උදා: දරුවෙකුගේ නම) "තමුසෙට මොකටද ඒක!" වැනි ප්‍රතිචාර දක්වමින් ප්‍රශ්නයෙන් ලිස්සා යාමට හෝ කෝප වීමට ඉඩ ඇත. මෙම තත්ත්වයන් නිසා රෝගීන් මානසික අවපීඩනයට, නින්ද නොයාමට, ජීවිතය එපා වූ බව පැවසීමට හෝ දිවිනසා ගැනීමේ උත්සාහයන්ට පවා යොමු විය හැක. රෝගය දරුණු වූ විට, ජීවිත කාලය පුරා ඉගෙන ගත් දේවල් පවා අමතක වී, කුඩා දරුවෙකුගේ තත්ත්වයට පත්වී, අවසානයේ ඇඳේම මළ මුත්‍රා පහකරන තත්ත්වයට පත්වී ඇඳටම සීමා වේ.



ඩිමෙන්ෂියාවට ගොදුරු නොවී සිටීමට ඇති හොඳම ක්‍රමය නම්, මුල් කාලයේ සිටම නිවැරදි සහ ක්‍රියාශීලී ජීවන රටාවකට හුරුවීමයි. සමබල ආහාර ගැනීම, මොළයේ සෛලවලට හිතකර ආහාර ලබාගැනීම, දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකීම මෙහිදී වැදගත් වේ. එසේම, කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් මැනවින් පාලනය කරගැනීම අත්‍යවශ්‍ය වේ. ශාරීරික ව්‍යායාම මෙන්ම, ප්‍රහේලිකා විසඳීම, චෙස් හෝ දාම් වැනි ක්‍රීඩා කිරීමෙන් මොළයටද ව්‍යායාම ලබාදිය යුතුය. වයස්ගත වුවද, අලුතින් විෂයයක් හෝ වෙනත් භාෂාවක් ඉගෙනීමට උත්සාහ කිරීම ඩිමෙන්ෂියාව වැළැක්වීමේ ඉතා සාර්ථක ක්‍රමවේදයක් ලෙස හඳුනාගෙන ඇත.

ඇතැම් ඩිමෙන්ෂියා තත්ත්වයන් සඳහා තවමත් ස්ථිර ප්‍රතිකාර නොමැති අතර, වැළැක්වීම වඩාත් වැදගත් වේ. අල්ෂෙයිමර් වැනි තත්ත්වයන් සඳහා රෝගයේ මුල් අවධියේදීම ආරම්භ කළ යුතු විශේෂ ඖෂධ පවතින අතර, එමගින් රෝගයේ තීව්‍රතාව අඩුකර වර්ධනය මන්දගාමී කළ හැක. 'රුධිර වාහිනී ඩිමෙන්ෂියාව' සඳහා දියවැඩියාව වැනි මූලික රෝග පාලනය කිරීමත්, 'නෝමල් ප්‍රෙෂර් හයිඩ්‍රොකෙෆලස්' (NPH) තත්ත්වය සඳහා 'VP-Shunt' වැනි ස්නායු ශල්‍ය ප්‍රතිකාරත්, 'විල්සන්ස් ඩිසීස්' සඳහා තඹ පාලනය කරන ඖෂධ ජීවිත කාලය පුරාම ලබාගැනීමත් අවශ්‍ය වේ.

ඩිමෙන්ෂියා රෝගීන් රැකබලා ගන්නන් මෙම රෝගී තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම අනිවාර්ය වන අතර, එසේ නොවීම ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වීමට හේතු වේ. රෝගියා 'ඔහුගේ දෙවෙනි ළමා කාලයේ' පසුවන බව සිතා කටයුතු කිරීම, ඔහුව අවබෝධ කරගැනීමට පහසුම උපදේශයයි. රෝගියාට එදිනෙදා අනතුරු, පෞද්ගලික ස්වස්ථතාවය හෝ අවස්ථානුකූල හැසිරීම ගැන අවබෝධයක් නොතිබිය හැකි අතර, මළ මුත්‍රා පාලනයකින් තොරව පිටවිය හැක. ඔවුන් හුරුපුරුදු පරිසරයෙන් නිතර වෙනස් නොකළ යුත්තේ, අලුත් පරිසරයකට හැඩගැසීමට ඔවුන්ට අපහසු බැවිනි. හොඳින් පෙනෙන ස්ථානයක විශාල අකුරු සහිත දින දර්ශනයක් එල්ලා තැබීමෙන් සහ නිතර ඔවුන් සිටින ස්ථානය මතක් කර දීමෙන් (Re-orientation) ඔවුන්ව දැනුවත් කළ හැකිය. එමෙන්ම, නින්ද අඩුකම, කලබලකාරී හැසිරීම හෝ අධික සැකය වැනි චර්යාත්මක ගැටලු සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන්, රෝගියා රැකබලා ගැනීම පහසු කරගත හැක.