පොලිස් ස්ථානාධිපති ධුරයන් හොබවනු ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් හත්දෙනකුට එම ධුරයන් අහිමි කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (21) දිනයේ සිට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද විශේෂ පොලිස් පණිවිඩයකට අනුව මෙම නිලධාරීන් පිරිස සාමාන්‍ය රාජකාරි සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ අනුමැතියට යටත්ව, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇත.
මෙම නව නියෝගය ප්‍රකාරව ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් නීති කොට්ඨාසය වෙතත්, ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ මධ්‍යම කොට්ඨාසය වෙතත්, නෙල්ලිඅඩි පොලිස් ස්ථානාධිපතිවරයා ගාල්ල පොලිස් කොට්ඨාසය වෙතත් මාරු කර යවා තිබේ. මීට අමතරව කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මාතර කොට්ඨාසයට සහ උහන පොලිස් ස්ථානාධිපතිවරයා ගාල්ල කොට්ඨාසයටත් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.
එසේම ඇන්දාන පොලිස් ස්ථානාධිපතිවරයා පානදුර කොට්ඨාසය වෙත සහ කුඹුක්ගැටේ පොලිස් ස්ථානාධිපතිවරයා මීගමුව කොට්ඨාසය වෙතද සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර යවා ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ.
මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදීම පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට සිය ස්ථානාධිපති ධුරයන් අහිමි වී ඇති අතර, ඔවුන් ද මෙම ආකාරයෙන්ම සාමාන්‍ය රාජකාරි සඳහා විවිධ පොලිස් කොට්ඨාස වෙත මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය මීට පෙර කටයුතු කර තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval