110-million-worth-of-kush-found-at-the-port-premises

 රුපියල් එකොළොස් කෝටි තිස්හය ලක්ෂ හැත්තෑ දහසක පමණ ඉහළ වටිනාකමකින් යුත් ‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි රේගු ගුදම් ගබඩාවක තිබී රේගු නිලධාරීන් විසින් පසුගිය 17 වැනිදා සොයා ගනු ලැබීය. මෙම මත්ද්‍රව්‍ය තොගය අඩංගු ගමන් මල්ල මීට මාස නවයකට පමණ පෙර තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු විසින් රැගෙන ආ එකක් බවට තොරතුරු අනාවරණය වී ඇත.






සිද්ධියට අදාළ ගමන් මල්ල ඉකුත් මාර්තු මස 17 වැනි දින උදෑසන 9.45 ට තායිලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් පැමිණි මගියෙකු විසින් රැගෙන විත් තිබිණි. කෙසේ වෙතත් අදාළ මගියා එම සැකකටයුතු ගමන් මල්ල ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ අත්හැර දමා පලා ගොස් තිබූ බව රේගු අංශ සඳහන් කරයි.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් හිමිකරුවෙකු නොමැති මෙම ගමන් මල්ල මුලින්ම ගුවන්තොටුපොළේ පිහිටි අත්හැර දමා ගිය ගමන් මලු ගබඩාවේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ. පසුව එම ගමන් මල්ල කොළඹ වරායේ ස්ථාපිත කර ඇති රාජසන්තක කරන ලද සහ අත්හැර දමා ඇති භාණ්ඩ ගබඩා කරන රේගු ගුදම වෙත මාරු කර යවා තිබිණි.

මෙම ගමන් මල්ල භාර ගැනීම සඳහා මාස නවයක කාලයක් ගතවන තුරුත් කිසිදු පුද්ගලයෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන්, රේගු නිලධාරීන් විසින් එය විවෘත කර පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇත. එහිදී ගමන් මල්ල තුළ ඉතා සූක්ෂම ලෙස පොලිතීන් ඇසුරුම්වල බහා සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය හමු වී ඇති අතර, එහි සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 367 ක් බව රේගු නිලධාරීන් තහවුරු කර ගෙන තිබේ.