ambalangoda-underworld-revenge-strikes-again-mahadura-nalinges-sister-who-was-the-cashier-at-the-restaurant-has-been-murdered

ඊයේ  (17) රාත්‍රි 8.30ට පමණ අම්බලන්ගොඩ මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් තුළ සිදුවු වෙඩිතැබීමකින් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර පසුව මියගොස් තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන අතර මින් ඉහත පාතාල ඝාතනයට ලක්වූ මහදුර නලින් නමැත්ත‍ාගේ නැගණිය බව කියැවේ.



යතුරුපැදියකින් පැමිණි දෙන්නෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇතැයි පොලීසිය සැක පළ කරයි.

මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ පලිගැනීමක් ලෙසය.
කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද සඳහන්ය.




මීට ඉහත අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී පසුගිය 4 වනදා  උදෑසන වෙඩිතබා ඝාතනය කර තිබුණේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි වරුෂවිතාන මිරන්ත නම් 54 හැවිරිදි පුද්ගලයෙකුවයි.අම්බලන්ගොඩ මෝදර මහා දේවාල කමිටුවේ සභාපති ලෙස ඔහු කටයුතු කළ අයෙකි.

පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට ලයිස්තුවෙන් ඉදිරිපත් වු අයෙකු බවයි.

එමෙන්ම ඔහු විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන ‘කරන්දෙණිය සුද්දා’ නම් පුද්ගලයාගේ මස්සිනා බවද පොලීසිය පවසා තිබුණි.

ඒ අනුව මෙම ඝාතනයට හේතුවී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයට කලින් දින මීටියාගොඩ හෝටලයක් තුළදී මීටියාගොඩ ‘මහදුර නලින්’ සහ තවත් පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් බවට කරුනු අනාවරණයවී තිබුණි.
මීටියාගොඩ මහාදුර නලින් ඝාතනයට කරන්දෙණිය සුද්දා පාර්ශ්වයට චෝදනා එල්ලවී තිබු අතර ඊයේ සිදුවූ ඝාතනයද ඒ අනුව එම පාර්ශ්වයට චෝදනා එල්ලවී තිබේ.