ත්‍රිකුණාමලය වරාය පොලිස් බල ප්‍රදේශයට අයත් වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය දැක්වෙන වීඩියෝ දර්ශන මුල් කරගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 2025 නොවැම්බර් 16 වන දින වරාය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සහ දායක පිරිසක් විසින් නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරමින් සිටින බවටයි.
මෙම පැමිණිල්ල ලැබීමෙන් පසු ත්‍රිකුණාමලය කොට්ඨාස භාර නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් මෙම අනවසර ඉදිකිරීම නවත්වන ලෙස දැනුම් දී ඇතත්, එම පිරිස එය නොසලකා හරිමින් ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදු කරගෙන ගොස් ඇත.
මෙම ප්‍රශ්නගත ඉදිකිරීම සිදුකළ 2025 නොවැම්බර් 16 වන දිනට පෙර, එනම් 2025 ඔක්තෝබර් 16 වන දින,
මීට යාබද ස්ථානයක සිදු කරන ලද තවත් අනවසර ඉදිකිරීමක් ඉවත් කරගන්නා ලෙස පරිසර අමාත්‍යාංශය මගින් අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත ලිඛිතව දැනුම් දී තිබූ පසුබිමක් තුළ මෙම නව ක්‍රියාව සිදු වී ඇති බවද පොලීසිය පෙන්වා දෙයි.
සියලු ජාතීන් නියෝජනය වන මෙම ප්‍රදේශයේ, මෙම සිදුවීම මුල් කරගනිමින් ජාතීන් අතර අසමගියක් ඇතිවීමේ ඉඩකඩක් පොලීසිය විසින් නිරීක්ෂණය කර තිබේ. යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු විසින් මෙම බුදු පිළිමයට හානියක් සිදු කළහොත්, එය ප්‍රදේශයේ සාමය හා සහජීවනය පවත්වාගෙන යාමට බරපතල බාධාවක් විය හැකි බැවින්, එම අවදානම සැලකිල්ලට ගෙන බුදු පිළිම වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත වැඩම කරවීමට පියවර ගෙන ඇත.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලට අනුව අනවසර ඉදිකිරීම් නැවැත්වීමට පොලිසිය කටයුතු කරන අවස්ථාවේදී, එම ස්ථානයට රැස්වූ පිරිස කලහකාරී ලෙස හැසිරුණු අතර, පොලිසිය එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළද, කිසිදු අවස්ථාවක මහා සංඝරත්නයට හෝ මහජනතාවට පහර දීමක් සිදු නොකළ බව පොලිස් නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින අතර, අදාළ පාර්ශවයන් එකඟතාවකට පැමිණීමෙන් පසු පොලිස් ආරක්ෂාව යටතට ගත් බුදු පිළිම වහන්සේ නැවත ගරුතර මහා සංඝරත්නයට සහ දායක සභාවට භාර දීමට කටයුතු කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් 2025 නොවැම්බර් 17 වන දින ත්‍රිකුණාමලය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් දන්වා සිටී.
සිදුවීමට අදාළ වීඩියෝව මෙ සමග පළවේ. click here


Comments
Post a Comment
Your comment will be visible after approval