දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගය ඇතුළු පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දැමීමටත්, පාසල් නැවත ආරම්භ කිරීම කල් දැමීමටත් බලධාරීන් තීරණය කර ඇත.
පවතින ආපදා තත්ත්වය හමුවේ ඉදිරි කටයුතු පිළිබඳව දැනුම් දීම සඳහා අද (28) දින පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිතව තිබූ විභාග සියල්ල මෙලෙස කල් දැමූ බවයි.
ඒ අනුව දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගයත්, 12 ශ්‍රේණියේ සිසුන් සඳහා දෙසැම්බර් 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයත් (GIT) දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
මීට අමතරව නොවැම්බර් 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට සැලසුම් කර තිබූ බඳවා ගැනීමේ විභාග සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග ද නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී අවධාරණය කළාය.
දිවයිනේ බොහෝ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් සහ මාර්ග ගංවතුර හා පස්කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වී ඇති බැවින් දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව මෙන්ම ඔවුන් පත්ව ඇති මානසික පීඩනය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් මෙම තීරණය ගත් බව ඇය පවසා සිටියි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා කියා සිටියේ, ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල ඇති උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සහ මේ වන විට එක්රැස් කර ඇති පිළිතුරු පත්‍රවල ආරක්ෂාව පිළිබඳව කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවත් ඒවා අතිශය සුරක්ෂිතව පවතින බවත්ය.
තවද, දිස්ත්‍රික්ක 14 ක මධ්‍යස්ථාන 15 කදී මේ වන විටත් ආරම්භ කර තිබූ උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ද අයහපත් කාලගුණය හමුවේ තාවකාලිකව නතර කර ඇති අතර, පාසල් නැවත ආරම්භ කිරීමේ දින වකවානු පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කිරීමට තරම් පරිසරයක් මෙතෙක් නිර්මාණය වී නොමැති බව බලධාරීන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් වූ වහාම මෙම විභාග පැවැත්වීමට කටයුතු කරන බවත්, ඊට අදාළ සංශෝධිත කාලසටහන් සහ දිනයන් ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව මගින් නිල වශයෙන් විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමට පියවර ගන්නා බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval