names-of-relatives-of-former-ministers-who-embezzled-millions-of-state-funds-have-been-revealed

 පසුගිය රජයන් පැවති සමයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් මගින් ව්‍යවසායකයන් නඟාසිටුවීම වෙනුවෙන් වෙන් කළ මුදල් අවභාවිතා කළ බව කියන දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ඥාතීන් ඇතුළත් ලැයිස්තුවක් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී. අමාත්‍යවරයා අවධාරණය කළේ

කෘෂිකාර්මික අංශයේ සංවර්ධනයට සහ ව්‍යවසායකත්ව වැඩසටහන් සඳහා මෙම ණය මුදල් වෙන් කර තිබූ බවයි. විශේෂයෙන්ම පසුගිය ‘කොළ’ සහ ‘නිල්’ ආණ්ඩු සමයන්හි මෙම අරමුදල් ලබාගත් පුද්ගලයන් සහ සමාගම් පිළිබඳව තොරතුරු අමාත්‍යවරයා සභාව හමුවේ තබන ලදී.

එම අරමුදල් ලබාගත් ලැයිස්තුව ඉතා දීර්ඝ එකක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ඉන් ප්‍රධාන නාම කිහිපයක් පමණක් සභාවට ඉදිරිපත් කළේය. ඒ අනුව, හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාගේ බිරිඳ වන අනෝමා ගමගේ මහත්මියට සම්බන්ධ බව කියන සමාගමක් රුපියල් මිලියන 14.95ක මුදලක් ලබාගෙන ඇති බවත්,


එම සමාගම මේ වන විට සොයා ගැනීමට නොහැකි අතර අදාළ මුදල නැවත ගෙවීමක් ද සිදු කර නොමැති බවටත් ඔහු චෝදනා කළේය. තවද, දයා ගමගේ අමාත්‍යවරයා යටතේ සේවය කළ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන බන්දුල වික්‍රමාරච්චි මහතාගේ පුත්‍රයාට ද මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 8.2ක මුදලක් හිමිව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ බිරිඳට අයත් යැයි සැලකෙන 'අසාහි කන්ස්ට්‍රක්ෂන්' නම් පෞද්ගලික සමාගමට රුපියල් මිලියන 18ක මුදලක් ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය විය. එමෙන්ම, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ද රුපියල් මිලියන 18ක මුදලක් මෙම ව්‍යාපෘතිය හරහා ලබාගෙන ඇති බව අමාත්‍යවරයා ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් වේ.

තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය විද්‍යාරත්න සඳහන් කළේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ පුත්‍රයාට සම්බන්ධ සමාගමකට රුපියල් මිලියන 37.5ක් ද, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහෝදරයෙකුට සම්බන්ධ සමාගමකට රුපියල් මිලියන 48.1ක් ද ලබා දී ඇති බවයි. මෙම ණය මුදල් ආපසු ගෙවීමට අදාළ කාලසීමාවන් ඉකුත් වී ඇති අතර, 2025 ජුනි මාසයේදී ලෝක බැංකුවට ගෙවිය යුතු ණය වාරික පියවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර තිබූ බව අමාත්‍යවරයා හෙළි කළේය. මෙලෙස රාජ්‍ය මුදල් අවභාවිතා කළ පිරිස් වර්තමානයේ රජය විසින් වතු කම්කරුවන්ට ලබා දෙන රුපියල් 200ක දීමනාව පිළිබඳව ප්‍රශ්න කිරීම කණගාටුවට කරුණක් බව ද ඔහු විපක්ෂ මන්ත්‍රීවරුන් අමතමින් ප්‍රකාශ කළේය.