a-fifteen-year-old-boy-drowned-while-bathing-in-the-remuna-lake-in-horana

 හොරණ රෙමුන වැවේ දිය නෑමට ගිය පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මිල්ලනිය, මානාන ප්‍රදේශයේ පදිංචිව සිටි තනුෂ් ලක්දිනු නැමැති පහළොස් හැවිරිදි දරුවෙකි. මියගිය සිසුවා සිය දහසය හැවිරිදි මිතුරා සමඟ පසුගිය 26 වනදා රාත්‍රී කාලයේ අදාළ වැවේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇත.



දියේ ගිලුණු දරුවා ඔහුගේ මිතුරා විසින් ගොඩට ගෙන පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව, වහාම ක්‍රියාත්මක වූ අඟුරුවාතොට පොලිසියේ නිලධාරීන් පැමිණ දරුවා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.


අනතුර සිදුවූ ස්ථානය හොරණ පොලිස් වසමට අයත් බැවින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන හොරණ පොලිසිය විසින් භාරගෙන ඇත. මියගිය සිසුවා සහ ඔහුගේ මිතුරා කලක පටන් සමීපව ඇසුරු කළ දෙදෙනෙකු බවත්, ඔවුන් යම් විශේෂ රෝගී තත්ත්වයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ උපදෙස් මත ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් රංජිත් (43055) මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.