ශ්‍රී ලාංකික ජනතාවට බෙදාදීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයෙකු විසින් පරිත්‍යාග කළ මෙට්‍රික් ටොන් 130ක (කිලෝග්‍රෑම් 130,000) සහල් තොගයක් මාස තුනකට අධික කාලයක් තිස්සේ කොළඹ වරායේ රඳවා ගෙන ඇති බව වාර්තා වේ. කන්ටේනර් 5කින් සමන්විත මෙම කිරි පොන්නි සම්බා සහල් තොගය සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු බව
වෙළෙඳ අමාත්‍යාංශය දැනුම් දී ඇති බව, අදාළ සහල් තොගය ආනයනය කළ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.අදාළ ඉන්දීය ව්‍යාපාරිකයා විසින් නැව් ගාස්තු පවා දරා මෙම පරිත්‍යාගය සිදුකර ඇති නමුත් ඔහු මෙම බදු ගාස්තු ගෙවීමට සූදානම් වී නැත. වරායේ රඳවා ඇති සහල් තොගය විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. රජය ජනතාවට සහන ලබාදෙන බව අයවැය හරහා ප්‍රකාශ කළ ද, නොමිලේ ලැබෙන මෙවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු සහන ලබානොදීම ගැටලු සහගත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු නොමිලේ ලැබෙන සහල් කන්ටේනර් 200කට වුවද අනුමැතිය ලබා දිය හැකි බව පවසා තමන් නොමඟ යැවූ බවට ද එම ප්‍රකාශකයා චෝදනා කළේය. තවද, මෙරට ප්‍රධාන ආගමික නායකයෙකු ද මෙම සහල් තොගයෙන් කොටසක් ජනතාවට බෙදාදීම සඳහා ඉල්ලීමක් කර තිබූ බව වාර්තා වේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, අදාළ සහල් තොගය සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත්, ඒ පිළිබඳ සොයා බලා ප්‍රකාශයක් නිකුත් කරන බවත් ය.
Comments
Post a Comment
Your comment will be visible after approval