4-arrested-for-setting-fire-to-ambuluwawa-forest

 ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට ගිනි තැබීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් සිවු දෙනෙකු ගම්පොළ පොලිසිය වෙත භාර දී තිබේ. මෙසේ පොලිසියට භාර දුන් පිරිස අතර වයස අවුරුදු 18ක තරුණියක් ද සිටින බව වාර්තා වේ. සැකකරුවන් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත.



මෙම පිරිස අම්බුලුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ ත්‍රාසජනක ක්‍රීඩා කලාපයට ආසන්නයේ පිහිටි ෆයිනස් වගාවකට ගිනි තබා ඇතැයි චෝදනා එල්ල වේ.


පෙරේදා (02 වැනිදා) පස්වරු 5.00ට පමණ හටගත් මෙම ගින්න, සංකීර්ණයේ කාර්ය මණ්ඩලය විසින් මැදිහත් වී නිවා දමා තිබේ.

අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ කළමනාකාර හා ව්‍යාපෘති සම්බන්ධීකාරක ෆයර්ඩ් බාකිර් මහතා විසින් ගම්පොළ පොලිසියට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ල මගින් ඔහු ඉල්ලා ඇත්තේ, වර්තමානයේ අම්බුලුවාව සම්බන්ධයෙන් සමාජය තුළ පැතිර යන විවිධ මත සහ මෙම ගිනි තැබීම අතර යම් සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳව සොයා බලන ලෙසයි.

විශේෂයෙන්ම මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රකාශයක් මෙම ගිනි තැබීමේ සිද්ධියට අනුබලයක් වී ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස බාකිර් මහතා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. මෙම පැමිණිල්ල සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇති සම්බන්ධය තහවුරු කර ගැනීම සඳහා ගම්පොළ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.