from-now-on-permission-must-be-obtained-from-above-to-trade-on-trains

දුම්රිය තුළ ගමන් කිරීමේදී ඇතිවන විවිධ ආහාර අවශ්‍යතා හෝ විසිතුරු දේ මිලටගැනීමේ අවශ්‍යතා වලට සාධාරණ ඉඩප්‍රස්ථා සැලසිය යුතු නමුත් එම අවස්තාව අවභාවිත කරන අය නිසා මගීන්ට නිතරම ඇත්තේ හිරිහැරයකි.



 දුම්රිය මගීන්ට පීඩාකාරී වන අයුරින් දුම්රිය මැදිරි තුළ කිසිදු වෙළෙඳ ක්‍රියාකාරකමක නිරත වීම තහනම් බවට කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේදී අවධාරණය කර සිටියේය.

යම් අයෙකුට දුම්රියක් තුළ වෙළෙඳාම් කිරීමේ අවශ්‍යතාවක් පවතින්නේ නම්, ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ නිසි අවසරය ලබාගත යුතු බවද මහෙස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.




මගීන්ට හිරිහැර වන අන්දමින් වෙළෙඳාමේ යෙදුණු බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩු එකොළහක් විභාගයට ගත් අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ සැකකරුවන් හත් දෙනෙකුට රුපියල් දෙදහස බැගින් වූ දඩ මුදලක් නියම කෙරුණු අතර, අධිකරණය මග හැර සිටි අනෙක් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.