will-the-electricity-bill-be-increased-the-verdict-is-today

 විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (14) පෙරවරුවේ ගැනීමට නියමිත අතර, එම තීරණය අද පස්වරුවේදී මහජනතාව වෙත නිවේදනය කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ඊයේ (13) දින ප්‍රකාශ කළේය. ලංකා විදුලිබල මණ්ඩලය විසින් සියයට 6.8 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා ඇතත්, අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අවසන් ගාස්තු වැඩිවීම එම ප්‍රතිශතයට වඩා අඩු මට්ටමක පැවතිය හැකි බවට එම නිලධාරියා වැඩිදුරටත් ඉඟි කළේය.



විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසූරිය මහතා විසින් සැප්තැම්බර් මාසයේදී කොමිසම වෙත යොමු කළ යෝජනාව මගින් මෙම ගාස්තු වැඩිවීම ඉල්ලා ඇත්තේ,


වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ අපේක්ෂිත හිඟයක් පියවා ගැනීමේ අරමුණෙනි. එම කාලසීමාව සඳහා රුපියල් මිලියන 17,694 ක, එනම් කෝටි 1,769 ක පමණ මූල්‍ය හිඟයක් විදුලිබල මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති අතර, එය පියවා ගැනීමට සියයට 6.8 ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ඔවුන්ගේ ගණනය කිරීම වී තිබේ.

මෙම ගාස්තු සංශෝධනය සිදු කිරීමේදී විදුලිබල පනතට සහ නියමිත ගාස්තු මිල සූත්‍රයට අනුකූලව කටයුතු කරන බව අවධාරණය කළ උපයෝගිතා කොමිසමේ නිලධාරියා, විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ අවසන් යෝජනාවේ අඩංගු ඇතැම් වියදම් ඇස්තමේන්තු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවද පැවසීය. කරුණු 8 ක් යටතේ කොමිසම විසින් මෙම යෝජනාවලිය අධ්‍යයනය කර ඇති අතර, එහිදී විශේෂයෙන්ම විදුලි ජනන පිරිවැය, ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ වියදම, බෙදාහැරීමේ පිරිවැය සහ පැරණි ණය පියවීම සඳහා විදුලි ගාස්තුවලින් අරමුදල් සපයා ගැනීමට කර ඇති යෝජනා කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබේ. විශේෂයෙන් ඉන්ධන බලාගාරවලින් වැඩි වශයෙන් විදුලිය මිලදී ගැනීමට සහ ණය ගෙවීමට ගාස්තු ඉහළ නැංවීමේ යෝජනා ගැඹුරින් සලකා බැලූ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.