සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ මුවාවෙන් මහා පරිමාණ කොකේන් ජාවාරමක නිරත වූ බවට චෝදනා ලත් කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ ප්‍රධානතම සහයකයෙකු, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර, හිරණ පොලිස් වසමේ ගල්තුඩේ ප්‍රදේශයේ පිහිටි නිවසකදී සැප්තැම්බර් 30 වනදා සිදුකළ මෙම වැටලීමේදී,
රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 'බඩෝවිට පියා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ව්‍යාපාරිකයා සහ 'සූරා' ලෙස හැඳින්වෙන ඔහුගේ සහයකයාය.
මෙම ජාවාරම සඳහා යොදාගත් සූක්ෂම උපක්‍රම පිළිබඳවද විමර්ශන වලදී කරුණු හෙළිවී තිබේ. ජාවාරම්කරු සිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී පොලිස් මාර්ග බාධක වලින් බේරීම සඳහා පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට ඇති අතර, ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිල හැඳුනුම්පතක් භාවිත කර ඇති බවට අනාවරණය වී ඇත. පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි 'සූරා' නමැති සැකකරු, මෝටර් රථය නැවැත්වූ අවස්ථාවලදී මෙම හැඳුනුම්පත පෙන්වා පහසුවෙන් ගැලවී ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
සැකකරුට සිය නිල හැඳුනුම්පත ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහාද පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පුළුල් විමර්ශනයක් දියත් කර තිබේ. මෙම හැඳුනුම්පත ලබාදීම වෙනුවෙන් කෝටිපති ව්‍යාපාරිකයාගෙන් අදාළ කොස්තාපල්වරයා මාස්පතා විශාල මුදලක් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.
ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්තව බඩෝවිට පොලිස් මුරපොළේ සේවය කරන නිලධාරියෙකු මෙලෙස සම්බන්ධ වී ඇති බවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. මිල අධික ක්‍රිකට් උපකරණ සහිත බෑග් යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම සිදුකරන බවට එම තොරතුරේ සඳහන්ව තිබී ඇත. ඒ අනුව කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස වැටලීමේදී එහි සඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් දෙකහමාරක් සමඟ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ නිවසට පැමිණි මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී තවත් කොකේන් කිලෝග්‍රෑමයකට වැඩි ප්‍රමාණයක් සොයාගත් අතර, රථයේ සිටි 'සූරා' නමැති අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනිණි. පොලිස් හැඳුනුම්පත හමුවී ඇත්තේ ඔහුගේ කමිස සාක්කුවේ තිබියදීය.
මෙම කෝටිපති ව්‍යාපාරිකයා කලක පටන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි රාත්‍රී සමාජ ශාලා සහ සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් ධනවත් පුද්ගලයන්ට කොකේන් අලෙවි කර ඇති බවටද තොරතුරු ලැබී ඇත. ඉතා අධික මිලක් වන මෙම මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන්නේ ඊට ඇබ්බැහි වූ ධන කුවේරයන් බව පොලීසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval