රාජ්‍ය සේවා කොමිසමට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ බව කියන වෛද්‍යවරියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය මගින් නිකුත් කරන ලද වෛද්‍ය පුහුණුව පිළිබඳ කාර්යසාධන මාණ්ඩලික සහතිකයක් මෙලෙස කූඨ ලෙස සකස් කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම වංචනික ක්‍රියාව අනාවරණය වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ සහතිකය සහ වෛද්‍ය පීඨයේ නිල වෙබ් අඩවියේ ඇති සහතිකය අතර පරස්පරතාවක් පැවතීම හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් කොමිසමේ ලේකම්වරයා විසින් පසුගිය සැප්තැම්බර් මස 01 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව කරුණු විමසීමත් සමග මෙම සිදුවීම පිළිබඳව කරුණු හෙළිදරව් වී තිබේ. අදාළ සහතිකයේ මුල් දිනය වූ 2022 පෙබරවාරි 16 යන්න 2021 ජූලි 21 ලෙස වෙනස් කර ඇති බව වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ සහකාර ලේඛකාධිකාරී ශාමිකා ජයසිංහ මහත්මිය විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සිය අත්සන සහ ආයතනයේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගනිමින් "මාණ්ඩලික සහතිකකරණයේ මාස 06ක වලංගුතාව" සඳහා වන සහතිකය සකස් කර ඇති බවට ඇය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා වෙත ඔක්තෝබර් 01 වන දින කරුණු වාර්තා කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම කූඨ ලේඛනයට අදාළ මුල් සහ ව්‍යාජ ලේඛන වහාම පොලිස් භාරයට ගෙන පරීක්ෂණ සිදුකරන ලෙස නියෝග කළේය. මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලු සැකකරුවන් හඳුනාගැනීම සඳහා අදාළ ලේඛන අත්‍යවශ්‍ය බව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval