gazette-to-make-seat-belts-mandatory-on-expressways

 අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන්ට මෙන්ම සෑම මගියෙකුටම ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු මෙම ගැසට් පත්‍රය අනුව, අධිවේගී මාර්ගයක ගමන් කරන ඕනෑම මෝටර් රථයක රියදුරු සහ එහි ඕනෑම අසුනක ගමන් කරන සෑම පුද්ගලයෙකුම ආරක්ෂක ආසන පටියක් පැළඳ සිටීම අනිවාර්ය වේ.



රිය අනතුරුවලින් සිදුවන ජීවිත හානි අවම කර මගී ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මීට පෙර, ජාතික ගමනාගමන කොමිෂන් සභාවද සැප්තැම්බර් මස 01 වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල සියලුම මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කරන බවට නිවේදනය කර තිබීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව තුළ ආසන පටි පැළඳීම 2011 වසරේ සිටම නීතිගත කර තිබුණද, බස් රථ සහ ලොරි රථ සඳහා එම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීය. කෙසේ වෙතත්, නව විධිවිධාන යටතේ එම තත්ත්වය වෙනස් කර ඇති අතර, මෙම නියමය කඩකරන ඕනෑම රියදුරෙකුට හෝ මගියෙකුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලීසියට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව රජය අවධාරණය කරයි.