untold-stories-of-the-kajja-murder-emerge
2012 වසරේදී ඝාතනයට ලක් වූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන්ගත් මෝටර් රථය පසුපස ගිය වාහනයක, මෑතකදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' නමැත්තා සිටි බවට ඔහුගේ බිරිඳ විසින් සිදුකරන ලද හඳුනාගැනීමක් මත පදනම්ව, ඔහුගේ ඥාතීන්ගෙන් සහ හිතවතුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පවසයි. අවශ්‍යතාවක් මතුවුවහොත්, අරුණ විදානගමගේගේ පුත්‍රයාගෙන්ද නැවත වරක් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ, අරුණ විදානගමගේගේ පුත් ඉඳුවර විදානගමගේ විසින් මීට පෙර මාධ්‍ය වෙත සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් කළ විමසීමකදීය. සිය පියා තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බවට මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය අසත්‍යයක් බව පුත්‍රයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත්, 'කජ්ජා'ගේ බිරිඳගේ ප්‍රකාශය පදනම් කරගනිමින් අඛණ්ඩව සාක්ෂි රැස්කරමින් සිටින බව පොලීසිය පවසයි.

වසර ගණනාවකට පසු තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නව තොරතුරු මතු වෙමින් පවතින්නේ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා සිටින කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, තැඹිලි ලහිරු, කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග යන අයගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට සමගාමීවය. කලක් මෙම කණ්ඩායම සමග සමීපව කටයුතු කර පසුව ඔවුන්ගෙන් වෙන්වී විවිධ අපරාධ පිළිබඳ හෙළිදරව් කළ 'මීගස්ආරේ කජ්ජා' නොහොත් අරුණ විදානගමගේ,

පසුගිය පෙබරවාරි 18 වන දින ඝාතනයට ලක්විය. ඔහුගේ ඝාතනයට අවශ්‍ය ගිනි අවිය තමන් සැපයූ බවට, දැනට අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි නමැත්තෙකු පාපොච්චාරණය කර ඇත.

මෙම පසුබිම තුළ, වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012 මැයි 17 වන දින, ඔහු පසුපස පැමිණි පිරිස අතර තම සැමියාද සිටි බවට 'මීගස්ආරේ කජ්ජා'ගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන තිබීම, පරීක්ෂණවලට නව මාවතක් විවර කර තිබේ.

මෙම හඳුනාගැනීමත් සමග, තාජුඩීන් ඝාතනය හා සම්බන්ධ බවට  ලක්වූ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය භාවිත කළ බව කියන WP KA 0642 දරණ ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ පුද්ගලයන් පිළිබඳවද හෝඩුවාවන් ලැබී ඇත. වසීම් තාජුඩීන් පැහැරගැනීම සඳහා සිරිලිය සවිය පදනමට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය යොදාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2018 සැප්තැම්බර් 20 වන දින අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.