
බ්‍රසීල ජාතික සංචාරක තරුණියකගෙන් රුපියල් තිස් දහසක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බවට චෝදනා එල්ල වූ ත්‍රිරෝද රථ රියදුරෙකු සහ ඔහුට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් පසුගිය 06 වනදා අත්අඩංගුවට ගෙන තිබේ. විසිහය හැවිරිදි විදෙස් තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගොතටුව ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පනස් හතර හැවිරිදි පුද්ගලයෙකි.
සංචාරක තරුණිය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව, ඇය පසුගිය 05 වනදා රාත්‍රී කාලයේදී කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා අදාළ ත්‍රිරෝද රථය භාවිත කර ඇත. එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියදුරා විසින් තමන්ගෙන් බලහත්කාරයෙන් මෙම මුදල ලබාගත් බව ඇය සිය පැමිණිල්ල මගින් දක්වා තිබූ බව පොලිසිය කියා සිටියේය. කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval