three-killed-in-head-on-collision-between-lorry-and-bus-in-narammala

 නාරම්මල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, නාරම්මල නගරයට නුදුරින් අද (05) අලුයම ලොරි රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකුගේ ජීවිත අහිමි වී තිබේ.



මෙම අනතුර සිදුව ඇත්තේ කුරුණෑගල දෙසින් නාරම්මල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව, එය මාර්ගයේ දකුණු පසට ධාවනය වී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ ගැටීමෙනි.

කටුනායක සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර වන අවස්ථාවේ ලොරි රථයේ ගමන් කරමින් සිටි රියදුරු, තවත් පිරිමි පුද්ගලයෙක්, කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකු තුවාල ලබා නාරම්මල සහ කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව ලොරි රථයේ 41 හැවිරිදි රියදුරු, එහි ගමන් ගත් 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 82 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වූ බව පොලිසිය තහවුරු කළේය. මියගිය සියලු දෙනා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් වාර්තා වේ.