silence-over-sikka-who-abused-three-mahanama-scouts

 කොළඹ මහානාම විද්‍යාලයේ 14 හැවිරිදි සිසුන් තිදෙනෙකු එම විද්‍යාලයේ ස්ථානභාර ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවට වාර්තාවේ.
පසුගිය ඔක්තෝබර් මස 04 වන දින මෙම අපරාධය සිදුවී ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා හෝ ආචාර්ය මණ්ඩලය මෙතෙක් කිසිදු පැහැදිලි පියවරක් ගෙන නොමැති බවත් වාර්තාවේ.



මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා එක්සත් මානව හිමිකම් සංවිධානය (United Human Rights) සහ එම විද්‍යාලයේ ආදි සිසුන් පිරිසක් විසින් අද (21) දින ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුන් තිදෙනා, පාසලට අනුයුක්ත පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරියෙකු වන සැකකරු විසින් ඔක්තෝබර් 04 වන දින රාත්‍රී කාලයේදී අපයෝජනයට ලක් කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ. මෙම සිසුන් බාලදක්ෂ පුහුණුව සදහා පාසලේ රැදී සිටි ඇති අය බවද විස්තර වාර්තාවේ. පාසල් වේලාවෙන් පසු සිසුන් රැදී සිටියදී දරුවන් බලාගැනීමට පාසල් විෂයභාර ගුරුවරයෙකු යොදා නැත.
මෙම සිදුවීමෙන් පසු අපයෝජනය කළ බව කියන Sirakma Security Service නමැති පුද්ගලික ආරක්ෂක සේවයේ පාසලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා පාසලේ රාජකාරියට මේ දක්වා වාර්තා කර නැතැයිද වාර්තා වේ.




මෙම සිදුවීමට අදාළ එක් දරුවෙකුගේ මව පාසලේ ගුරුවරියක වන නමුත් සිදුවීමෙන් පසු පොලිසියට ගොස් සාකච්ඡාවක් පමණක් සිදුකර නැවත ඔවුන් පැමිණ ඇත්තේ ඉහළ බලපෑමක් නිසා බවටද චෝදනා නැගෙයි.
පොලිසියට පැමිණිල්ලක් නොකර තිබීමද ගැටලුවකි.

පාසලේ කීර්ති නාමය රැකගැනීමේ නාමයෙන් විදුහල්පතිවරයා මෙම සිදුවීම යටපත් කිරීමට උත්සාහ දරන බවට පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශ්ව මෙන්ම ආදි සිසුහුද චෝදනා කරති. විදුහල්පතිවරයා සහ අදාළ ආරක්ෂක සමාගම අතර පවතින සබඳතාවක් මත සැකකරුට පලා යාමට ඉඩ සලසා ඇති බවටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ආණ්ඩුවේ ඉහළ දේශපාලන සබඳතා ඇති බව පවසමින් දෙමාපියන්ට බලපෑම් කළ බවටත් බාහිර පාර්ශ්ව චෝදනා නගා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අද මේ ගැන හෙළිදරව්වක්ද කළේය. ඔහු පෙන්වා දුන්නේ, අපයෝජනයට ලක් වූ දරුවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර නොමැති බවත්, අදාළ ආරක්ෂක සමාගමට හෝ අපරාධය සිදුකළ පුද්ගලයාට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත්ය.


මෙම සිදුවීම පිළිබඳව කතා කළ ගුරුවරුන් දෙදෙනෙකුට විදුහල්පතිවරයා විසින් තර්ජනය කර ඇති බවත්, පැමිණිලි කිරීමට ගිය දෙමාපියන් "දරුවන් උසාවි ගෙන යාමට සිදුවන" බවත් "නඩු වසර ගණනාවක් ඇදී යන" බවත් පවසා බිය ගන්වා පැමිණිලි කිරීම අධෛර්යමත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මේ අතර, කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ ලැබුණු තොරතුරකට අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත්, මේ වන තෙක් පොලිසිය වෙත සෘජු පැමිණිල්ලක් ලැබී නොමැති බවද පොලිසිය පැවසීය. අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සමග එක්ව විමර්ශන සිදුකරන බවත්, අධිකරණ නියෝගයක් මත පාසලේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.