පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක එළවළු තොග සහ සිල්ලර මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම බෝංචි, කැරට්, ලීක්ස් සහ වම්බටු වැනි එළවළු වර්ගවල මිල ගණන්හි සැලකිය යුතු වැඩිවීමක් මෙම සතියේදී දක්නට ලැබිණි.
නාරාහේන්පිට සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරු ලසන්ත සංජීව මහතා ඊයේ (21) ප්‍රකාශ කර තිබුණේ, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝග්‍රෑමයක සිල්ලර මිල පසුගිය සතියට වඩා සියයට 10ත් 20ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවය.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඊයේ දිනය වන විට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 400 කට, කැරට් රුපියල් 240 කට, බීට් රුපියල් 240 කට, ලීක්ස් රුපියල් 240 කට, ගෝවා රුපියල් 280 කට, රාබු රුපියල් 220 කට සහ නෝකෝල් රුපියල් 280 ක සිල්ලර මිලකට අලෙවි වූ බවයි.
එමෙන්ම මාළු මිරිස් කිලෝවක් රුපියල් 800 ක්, අමු මිරිස් රුපියල් 400 ක්, මැලේෂියන් වට්ටක්කා රුපියල් 80 ක්, තක්කාලි රුපියල් 220-240 ත් අතර මිලකට, වම්බටු රුපියල් 360 ක්, වැටකොලු රුපියල් 340 ක්, පතෝල රුපියල් 300 ක්, දඹල රුපියල් 560 ක් සහ මෑකරල් රුපියල් 340 ක් ලෙස ද අලෙවි කෙරිණි. මීට අමතරව තුඹ කරවිල රුපියල් 780 ක්, බණ්ඩක්කා රුපියල් 220 ක්, මුරුංගා රුපියල් 380 ක් සහ දෙහි කිලෝවක් රුපියල් 2,800 ත් 3,000 ත් අතර ඉහළ සිල්ලර මිලකට අලෙවි වී තිබිණි.
මේ අතර, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු කිලෝග්‍රෑමයක තොග මිල ගණන් පසුගිය සතිය හා සසඳන විට සියයට 20ත් 30ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා 'ලංකාදීප' යට පවසා තිබේ. වර්ෂාව හේතුවෙන් ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු සැපයීම අඩු වීම මෙම මිල ඉහළ යාමට හේතුව බවද ඔහු සඳහන් කළේය. තොග මිලට සාපේක්ෂව සිල්ලර මිල රුපියල් 10ත් 20ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ක්‍රිස්ටි විජේරත්න මහතාට අනුව, දඹුල්ලේ සිල්ලර මිල ගණන් ඊයේ දිනයේදී ගෝවා රුපියල් 70-80 ත්, බෝංචි 250-260 ත්, ලීක්ස් 80-90 ත්, නුවරඑළිය කැරට් 120-160 ත්, බීට් 70-80 ත්, වැටකොලු 130-145 ත්, බණ්ඩක්කා 120-140 ත්, කරවිල 300-320 ත්, වට්ටක්කා 50-55 ත්, වම්බටු 150-165 ත්, මෑකරල් 140-150 ත් අතර අගයන්හි පැවතිණි.
කෙසේ වෙතත්, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ඊයේ දිනයේදී තරමක් අඩු මට්ටමක පැවතීම විශේෂත්වයක් විය.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 310-315 ත්, කැරට් 170-200 ත්, ගෝවා 100-110 ත්, ලීක්ස් 140-150 ත්, බීට් 80-90 ත්, වැටකොලු 130-140 ත්, මෑකරල් 150-160 ත්, පතෝල 190-200 ත්, කරවිල 330-340 ත්, වම්බටු 200-215 ත්, තක්කාලි 150-170 ත්, අමු මිරිස් 230-250 ත්, මාළු මිරිස් 370-380 ත් අතර සිල්ලර මිල ගණන් යටතේ අලෙවි විය.
මීට අමතරව දඹල රුපියල් 250-260 ත්, නෝකෝල් 150-160 ත්, බණ්ඩක්කා 140-150 ත්, රාබු 100-120 ත්, අලු කෙසෙල් 170-180 ත්, බටානා 100-120 ත්, එළබටු 250-260 ත් අතර මිලකට ද, තුඹ කරවිල රුපියල් 450 ක් වැනි මිලකට ද අලෙවි වූ බව වෙළෙන්දෝ ප්‍රකාශ කළහ.
Comments
Post a Comment
Your comment will be visible after approval