අරගලකරුවන් විසින් 2022 වසරේදී ගිනිතබා විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව, මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ තමන්ගේ අයිතියක් නැතිව තිබියදී ඒවා තමන්ගේ බව පෙන්නුම් කර ඒ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබා ගත්තේ යැයි දින 70ක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම ඊයේ (14 වැනිදා) නියෝග කළේය.
සැකකරුගේ රෝගී තත්ත්වය, දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම සහ විමර්ශන බොහෝ ප්‍රමාණයක් අවසන් කර තිබීම යන කරුණු සලකා බලා ඇප නියම කරන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
සැකකරුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක්, ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස්ගත ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.
කිරිඉබ්බන්වැව, මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවැති දේපළ ගිනිබත් කිරීමෙන් සිදුවූ අගතියට රුපියල් 885000ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබාගනිමින් රාජ්‍ය දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැවරූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙසේ ඔහුට ඇප නියම කළත් වරද සම්බන්ධ නඩුව දිගටම පවතී.
ඇප අරන් එළියට ආ ශෂීන්ද්‍ර මෙසේ කීය.
මේ ගැන කියන්න දෙයක් නෑ. මං හිතන්නේ රටේ නීතිය මට සාධාරණය ඉටු කරාවි.
ඒක තමයි මං හිතන්නේ, මං විශ්වාස කරන්නෙත්.
ඉතින්... .. මං හිතනවා මගේ දේශපාලනය නිසා පලිගන්න කූඩුවෙත් දැම්මා.
සන්තෝසයි, සන්තෝසයි ඇති.
නීතියේ සාධාරණත්වය මට ලැබේවි කියලා මම විශ්වාස කරනවා.
එච්චරයි.
මං ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම අත්දැකීම ලැබුවා.
ඒක මං හිතනවා මට හයියක් වෙයි දේශපාලනය ඉදිරියට කරන්න.
පොතකුත් ලිව්වා. ඒකත් කළා. තොරතුරු ටික ඔක්කොම ලියා ගත්තා.
දේශපාලනය ඉදිරියටත් අනිවාර්යයෙන්ම සාර්ථකව කරනවා.
අපි කරන්න පුළුවන් උපරිම දේ ජනතාව වෙනුවෙන්, විපක්ෂයේ ඉඳගෙන, දැනුත් කරනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval